Wednesday, April 24, 2024

අතුරුදන් වූ තරුණියෝ පොලිසියට භාර වෙති

නවාතැන් දුන් ගම්පහ කාන්තාවක්‌ සහ එක්‌ තරුණියකගේ පෙම්වතා අත්අඩංගුවට

ඉකුත් 14 වැනිදා සිට අතුරුදන්ව සිටි කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ තරුණියන් තිදෙනා ඊයේ (18 දා) වැල්ලම්පිටිය සහ ගම්පහ පොලිසි වෙත පැමිණ භාර වී ඇති අතර ඔවුන් රඳවාගෙන සිටි ගම්පහ ප්‍රදේශයේ නිවසක වැඩිහිටි කාන්තාව සහ එක්‌ තරුණියකගේ පෙම්වතා යෑයි සැකකරන තරුණයකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මල්කි වත්සලා (19) සහ යසන්ති මධුෂානි (15) වැල්ලම්පිටිය පොලිසිය වෙත ද ශරිත්‍රා ස්‌වේතා (14) ගම්පහ පොලිසිය වෙත ද පැමිණ මෙසේ භාරවී ඇත.

මෙම තිදෙනා සමඟ දුරකථනයෙන් කතා කළ බව කියන කොළොන්නාවේ පදිංචි තරුණයකු ද වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි වැඩිහිටි යුවළකගේ නිවසක මොවුන් රැඳී සිට ඇති බවට මෙතෙක්‌ කළ පොලිස්‌ පරීක්‌ෂණ වලදී අනාවරණය වී තිබේ.

මෙම තිදෙනා පසුගිය සෙනසුරාදා (14 දා) සවස ඇඳුම් ගැනීමට යන බව කියා නිවෙස්‌ වලින් පිටත්ව ගොස්‌ තිබේ. අතුරුදන් වූ තිදෙනාගෙන් එක්‌ අයකු ප්‍රේම සම්බන්ධයක්‌ තිබෙන බව කියන තරුණයකු සමඟ දුරකථනයෙන් කතා කරන බවට පෙරේදා (17 දා) රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති නිශාන්ත සංජීව මහතාට තොරතුරක්‌ ලැබී ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තරුණියන් තිදෙනා රැඳී සිටින ස්‌ථානය දැනගැනීමට හැකිවී තිබේ. ඒ අතර ඊයේ පෙරවරු 7.30 ට පමණ මොවුන්ගෙන් දෙදෙනකු වැල්ලම්පිටිය පොලිසියට පැමිණ භාරවී ඇත. අනෙක්‌ දැරිය ඔවුන් රැඳී සිටි නිවසේ වයස්‌ගත කාන්තාව විසින් ඊයේ දහවල් ගම්පහ පොලිසියට රැගෙනවිත් භාරදී තිබේ.

ශරිත්‍රා ස්‌වේතා නමැති බාල වයස්‌කාර දැරිය විසින් 19 හැවිරිදි මල්කි වත්සලාගේ සැමියාට දුරකථන ඇමතුමක්‌ ලබාදී “අපි හොඳින් ඉන්නවා අපි ගැන සොයන්න එපා මේ ගැන පොලිසියට කියන්නත් එපා” යනුවෙන් කියා තිබේ.

මේ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසිය සහ වැල්ලම්පිටිය පොලිසිය දුරකථන දත්ත තොරතුරු ඔස්‌සේ පුළුල් විමර්ශනයක්‌ පැවැත්වූ අතර ඒ හරහා හොරණ සහ අනුරාධපුර යන ප්‍රදේශවල සී. සී. ටී. වී. කැමරා දත්ත ඔස්‌සේ පුළුල් විමර්ශනයක්‌ සිදුකර අධිකරණ නියෝගයක්‌ ද ගෙන ඇත.

පොලිසියට භාර වූ මෙම තරුණියන් තිදෙනා පවසන ප්‍රකාශ එකිනෙකට පරස්‌පර බවත් පරීක්‌ෂණ සඳහා සෑහීමට පත්විය හැකි තොරතුරක්‌ ඔවුන්ගෙන් දැන ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය පවසයි. තිදෙනාම වැල්ලම්පිටිය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සම්පත් සංජීව මහතා ‘දිවයින’ට පැවසීය.

අතුරුදන්ව සිටි මලිතිගේ නැන්දණිය බව කියන සංජීවනී මහත්මිය මෙසේ පැවසුවාය.

“මලිති කියන්නේ මගේ ලේලි. යශාන්ති මගේ පොඩි දුව. ශරිත්‍රා යාබද නිවසක පදිංචි දැරියක්‌. මේ තුන්දෙනා මඟුල් ගෙදරකට යන්න ඇඳුම් ගන්න කියලා නිවසින් පිටව ගියා. ලේලි නම් කිව්වේ කෝච්චියෙ යන්න ආස නිසා දෙමටගොඩින් ගම්පහ යන කෝච්චියට නැග්ගා කියලා. පසුව ගම්පහට යන විට හවස්‌ වුණ නිසා පාරේ ගැහැනු කෙනෙක්‌ එයාගේ ෙච්න් එක ගලවගත්තාලු. ආපසු යන විට ෙච්න් එක නැතුව ගෙදර එන්න බැරි නිසා වයසක කාන්තාවක්‌ ඇගේ නිවසට එක්‌කරගෙන ගියා කියනවා. පස්‌සේ මේ තුන්දෙනාගෙන් එක්‌ කෙනකුගේ ෙච්න් එක උකස්‌ කරල ඒ ගෑනු කෙනා රු. 10,000 ගත්තාලු. මලිති සහ යශාන්තිව ඒ වයසක කාන්තාවගේ ගෙදර නවත්වාගෙන ශරිත්‍රා දුවට යාබද නිවසක නවාතැන් දුන්නා කියලාත් කිව්වා. පසුව ඊයේ (18 දා) රුපියල් 10,000 අතට දීලා ඉක්‌මනට ගෙදර යන්න කිව්වලු, ශරිත්‍රා ගැන ඇහුවම එයාවත් එවන්නම් කිව්වාලු. ඊට පස්‌සේ තමයි මේගොල්ලෝ ත්‍රීවීල් එකකින් වැල්ලම්පිටිය පොලිසියට ඇවිත් තියෙන්නේ”.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles