Friday, March 29, 2024

ඉදි නොකළ වෙරළ උයනකට කෝටි ගණනක් ගෙවලා!

හම්බන්තොට වෙරළ තීරයේ වෙරළ උද්‍යානයක් ඉදි කිරීමට යැයි කෝටි ගණනක මුදලක් ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ (ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය) ආයතනයෙන් ලබා ගෙන එහි උද්‍යානයක් ඉදි නොකර සිදු කර ඇති මුදල් අවභාවිතයක් හේතුවෙන් එම ආයතනය විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි සිළුමිණට වාර්තා වේ.

පුල්මුඩේ සහ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන 750ක පමණ සේවකයන් ත්‍රස්තවාදී තර්ජන පැවැති සමයේ වුවද ආයතනයේ කටයුතු හැකි උපරිම කාර්යක්ෂම භාවයෙන් පවත්වා ගෙන ගොස් ඇති නමුත්, 2010.05.13 දින සිට 2015.01.26 දක්වා වූ කාලය තුළ සිදුව ඇති දූෂණ හා වංචා රැසක් නිසා ආයතනය මෙසේ මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද වාර්තා වේ. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත හම්බන්තොට වෙරළ තීරයේ වෙරළ උද්‍යානයක් ඉදි කිරීමටයැයි කෝටි ගණනක මුදල් අවස්ථා දෙකකදී ගෙවා ඇති බව දැනගන්නට ඇත. 2012.01.16 දින මිලියන 30ක මුදලක් මේ සඳහා ලබා දී ඇති අතර, පසුව එම මුදල වියදම් වී අවසන් බව පවසා ඉතිරි වැඩ කර ගැනීමට තවත් රුපියල් මිලියන 10ක් ලබා දෙන ලෙස රාජ්‍ය අරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට පිළිතුරු ලෙස යළිත් රුපියල් මිලියන 10ක මුදලක් ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනයෙන් ලබා දී ඇත.

රාජ්‍ය ආයතනයකින් ගෙවනු ලබන මේ මුදල මේජර් වීරසිංහ නම් අයකුට ලබා දෙන ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී ඇති සිද්ධියක් සම්බන්ධවද මේ වන විට කරුණු අනාවරණය වී ඇත

මෙහිදී මිලියන 30ක් සඳහා ලදුපතක් ඇතත් මිලියන 10 සඳහා කිසිදු ලදු පතක් නැත. එසේම හම්බන්‍‍තොට වෙරළ තීරයේ එවන් කිසිදු උද්‍යානයක් ඉදි කර නැති අතර, එහි වෙරළ ක්‍රීඩා පිටියක් හා ඇවිදින මංතීරුවක් පමණක් ඉදි කර ඇති තිබේ. එම ඉදි කිරීම් සියල්ලද ඉදි කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුව විසින් බවට වාර්තා වේ. යුද හමුදාවට අමතරව තංගල්ල සහ වීරකැටිය බන්ධනාගාරවල රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයද මේ සඳහා ලබා දී ඇත.

මීට අමතරව මෙහිදී සිදුව ඇති අනවශ්‍ය මිල දී ගැනීම්, ඉදි කිරීම් හා අලුත්වැඩියාවන් සහ වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල පිටුපස විශාල කොමිස් වංචාවන් සිදුව ඇති බවද එම අවභාවිත මුදල් කෝටි ගණනක් බවද වාර්තා වේ. ඒ පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles