Friday, April 19, 2024

මහින්ද කියපු නිසා සිල් රෙදි දුන්නා

සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධව කොළඹ මහාධිකරණයේ විභාගවන නඩුවේදී ඊයේ (09) විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වටිනාපහ සෝමානන්ද හිමියන් පැවැසීය.

2014 වසරේ මුල් කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණයක් මත ඔහුගේ උපදෙස් මත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සහ මෙම නඩුවේ විත්තිකරුවන් ක්‍රියා කළ බව ද පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

තවද එවකට හිටපු ජනාධිපතිවරයාගේ බෞද්ධ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ තමාද එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නඩුවේ විත්තිකරුවන්ගේ උපදෙස් මත කටයුතු කළ බව ද පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියෝ පවසා සිටියහ.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගවන මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් එසේ පවසා සිටියේය.

හිටපු ජනාධිපතිවරයාගේ ආගමික උත්සව සංවිධානය හා විහාරස්ථානවල බෞද්ධ කටයුතුවලදී වැඩසටහන් සංවිධානය කිරීම තමන්හට පැවරී තිබූ බවත් විහාරාධිපතිවරුන් අඩු ආදායම්ලාභීන් හට සිල් රෙදි ලබාදෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවත් ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදුන් බවත් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියෝ විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසූහ.

2014 ඔක්තෝබර් මස 30 හා 2015 ජනවාරි මස 05 අතර කාලයේදී පැමිණිල්ල නොදත් අය සමඟ ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් විදුලිසංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකුවේ තැප්‍රොබෙන් ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් හෝ එසේ කිරීමට සැලැස්වීමෙන් මුදල් වංක ලෙස පරිහරණය ඇතුළු අධි චෝදනා 10ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

නඩුවෙන් අධිචෝදනා ලැබ සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු නඩු විභාගය සඳහා ඊයේ (09) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ලිඛිත දේශන සඳහා නඩු විභාගය අද (10) කල්තැබුණි.

පැමිණිල්ල වෙනුවෙන් නි‍යෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles