Thursday, April 25, 2024

රවිරාජ් ඝාතන නඩුව නැවත කැඳවන්න අභියාචනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කර ජූරි සභාවක් රහිතව එම නඩුව නැවත විභාග කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (10) අභියාචන පෙත්සමක් ගොනුකර තිබේ. ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් මේ පෙත්සම ගොනුකර ඇත.

අදාළ ජූරි සභා නඩු තීන්දුව නිසා අගතියටපත් පාර්ශ්වය ලෙස මේ පෙත්සම ගොනුකර තිබේ.

එම නඩුවේ දී විත්තිකරුවන්ට එරෙහිව තිබූ චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් පරිදි සාක්කි ඉදිරිපත් වූ නමුත් ඒවා නොසලකා හරිමින් ජූරි සභාව විසින් විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කර හරින ලද බව පෙත්සමෙහි දැක්වේ.

ඉකුත් 2006 වසරේ නොවැම්බර් මස 10 දින පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2016 වසරේ ජූලි මස 20 වැනි දා මහාධිකරණය හමුවෙහි නඩු පවරා ඇත. පලනිසාමි සුරේෂ් හෙවත් සාමී, හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන කුමාර හෙවත් සම්පත්, දෙල්වලගෙදර ගාමිණී සෙනෙවිරත්න, කන්කානම්ලාගේ ප්‍රදීප් චමින්ද හෙවත් වජිර, සිවකාන්තන් විවේකානන්දන් හෙවත් චරන්, ෆේබියන් රොයිස්ටන් තුසේන් මෙහි විත්තිකරුවන් වූ අතර විත්තිකරුවන් තිදෙනකු රහිතව මේ නඩු විභාගය පැවැත්විණි.

අධිකරණය හමුවෙහි පෙනී සිටි විත්තිකාර නාවික හමුදා නිලධාරීන්ගේ ඉල්ලීම මත ජූරි සභාවක් හමුවේ මේ නඩු විභාගය පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා 2016 ඔක්තෝබර් මස 27 වැනි දා අවසර දුන් බව පෙත්සමෙහි සඳහන් වේ. පසුව ජූරි සභාව සිංහල භාෂාව කතා කරන අයගෙන් සමන්විත විය යුතු බවට විත්තිකරුවන් ඉල්ලීමක් කළ අතර, ඒ අනුව විශේෂ ජූරි සභාවක් මහාධිකරණ විනිසුරුවරයා විසින් පත්කරන ලද බව පෙත්සමෙහි දැක්වේ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නගා තිබූ අතර එවැනි නඩුවක් ජූරි සභාවක් ඉදිරියේ කැඳවීම දෝෂ සහගත බව පෙත්සම්කාරිය විසින් පෙන්වා දී තිබේ.

තමාගේ නීතිඥවරු ජූරි සභාව සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ විරෝධය පළ කළ බව ද පෙත්සම්කාරිය සඳහන් කර ඇත.

කෙසේ වුවද දිනපතා පැවැති නඩු විභාගය අවසානයේ දී ඉකුත් දෙසැම්බර් මස 24 වැනි දා මධ්‍යම රාත්‍රියේ අදාළ ජූරි සභාව විසින් සියලු විත්තිකරුවන් චෝදනාවන්ට නිවැරැදිකරුවන් බවට තීරණය කළ අතර, ඒ අනුව එම විත්තිකරුවන් මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදොස්කොට නිදහස් කළ බව පෙත්සමෙහි දැක්වේ. විත්තිකරුවන්ට එරෙහි චෝදනා පිළිබඳ නිසි ලෙස සැලකිලිමත් නොවී ජූරි සභාවක් පත් කිරීමෙන් අගතියක් සිදුව ඇතැයි පෙත්සමෙහි සඳහන් වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ය‍ටතේ වන චෝදනා නීතිමය දැනුමක් ඇති විනිසුරුවරයකු විසින් විභාග කළ යුතු අතර, ජූරි සභාවකට එය පැවරීමෙන් හානියක් සිදුව ඇතැයි පෙත්සම්කාරිය කියයි.

එබැවින් මේ නඩුව විභාග කිරීම සඳහා ජූරි සභාවකට අවසර දෙමින් දෙන ලද මහාධිකරණ නියෝගය බල රහිත කරන ලෙස පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේම අදාළ ජූරි සභා තීන්දුව බලරහිත කර නැවත නඩු විභාගයක් පවත්වා විත්තිකරුවන් සියලු චෝදනාවන්ට වැරැදිකරුවන් බවට තීරණය කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලීමක් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles