Friday, April 19, 2024

වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි තීන්දුවක්

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට එරෙහිව මෙතෙක් නොගත් දැඩි තීන්දුවක් ඉදිරියේදි ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙතෙක් ක්‍රියාත්මක කළ කිසිදු වැඩ වර්ජනයකට හිටපු වෘත්තීය සමිති නායකයකු ලෙස මේ දක්වා දැඩි තීරණයක් නොගත් බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමැතිවරයා අද (22) මේ බව ප්‍රකාශ කළේය.
ඩෙංගු රෝගය හේතුවෙන් ජනතාව අපහසුතාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය වැඩ වර්ජනයකට අවතීර්ණ වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් හදිසි ආපදාවක් පවතින මෙවැනි අවස්ථාවක් වැඩ වර්ජනයක් සිදු කරන ඔවුන් වෛද්‍යවරුන් ද කියන ගැටලුව මතු වන බවත් ඇමැතිවරයා පැවැසීය.
සයිටම් විරෝධීන් ඊයේ (21) දිනයේදි බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වී අමාත්‍යාංශයේ දේපළවලට හානි කර එම අමාත්‍යාංශයෙන්ම පාලනය වන ජාතික රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම හාස්‍යයට කරුණක් යැයි ද ඇමැතිවරයා කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු කළ හානි පිළිබඳව තක්සේරු කරමින් සිටින බවත් අමාත්‍යාංශය තුළ තිබූ වාහන 16 කට සයිටම් විරෝධීන් හානි කළ අතර හානි සිදු වූ දේපළවල වටිනාකම රුපියල් මිලියන ගණනක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මේ සිදුවීම පිටුපස පෙරටුගාමී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ සිටින බවට වාර්තා වී ඇති බවත් වෛද්‍ය සිසුන්ට වඩා වෙනත් පාර්ශ්වවල පිරිසක් මේ උද්ඝෝෂණයට සහභාගිව සිටි බවත් ඇමැතිවරයා කීය.
සයිටම් විරෝධීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් ඇතුළු වීමේදි අමාත්‍යාංශය තුළට පොලිස් ආරක්ෂාව ලැබී නොතිබූ බවත් මෙවැනි උද්ඝෝෂණයන් සිදු කරන විට සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යනාදි ආයතනවලට පොලිස් ආරක්ෂාව සැපයීම වැදගත් බවත් ඇමැතිවරයා පැවැසුවේය.
ලබන 26 වැනිදා වන විට වෛද්‍ය පීඨ සිසුන්ට ඔවුන්ගේ දේශන ආරම්භ කරන්න සැලසුම් කර තිබියදී මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇති වීම කනගාටුදායක යැයි ද ඇමැතිවරයා කීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කරන්නේ යැයි ද ඊයේ (21) අමාත්‍යාංශය පරිශ්‍රය තුළ ඇති වූ කලහකාරි තත්ත්වය නිසා අමාත්‍යාංශ නිලධාරින් පැවැත්වීමට සිටි වැදගත් සාකච්ඡා ගණනාවක් මඟ හැරුණු අතර ඩෙංගු කළමනාකරණ කටයුතු ඇතුළු වැඩසටහන් රැසකට බාධාවන් සිදු වූයේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles