Wednesday, April 17, 2024

ශ්‍රී ලංකන් අධ්‍යක්‍ෂ මණ්ඩලය අද කැබිනට් මණ්ඩලයට

අද(20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට ජනාධිපතිතුමා, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවීමට නියමිත බව වාර්තා වේ.

ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම් අවලංගු කිරීම සහ ගුවන් තොටුපොළ වසා දැමීම නිසා 2017 මාර්තු 31 න් අවසන් මුදල් වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව ඊට පෙර වර්ෂයට සාපේක්ෂව දෙගුනයක්වී ඇතැයි රොයිටර් වාර්තාවක දැක්වේ.

සමාගම උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, එම කාලසීමාවේ රුපියල් බිලියන 27.79 ක පාඩුවක් ලබා ඇති බව ය.

පසුගිය වසරේ සමාගම රුපියල් බිලියන 12.8 ක පාඩුවක් ලබා තිබිණි.

ශ්‍රී ලංකන් සමාගම පැවසූවේ, ඒ 350- 900 වර්ගයේ යානා මිලදී ගැනීමට අදාළව පසුගිය රජය අත්සන් කළ ගිවිසුම් අවලංගු කිරීම සහ කටුනායක ගුවන් තොටුපොළ මාස 3ක් වසා දැමීම පාඩුව දෙගුනවීමට හේතුවී ඇති බව ය.

ගිවිසුම් අවලංගු කිරීම නිසා 2017 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂය තුළ ගෙවීමට සිදු ව ඇති වන්දි මුදල රුපියල් බිලියන 14.36 කි.

මෙම පසුබිම තුළ සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ, ජනාධිපතිතුමාට හා කැබිනට් මණ්ඩලයට අසත්‍ය තොරතුරු සැපයීම නිසා ජාතික ගුවන් සේවය ව්‍යාකූල තත්ත්වයකට පත් ව ඇති බව ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එකම වෘත්තීය සංගමය ලෙස සත්‍ය තොරතුරු දැනුම්දීම සඳහා මෙම ලිපිය යොමුකරන බව ද එහි සඳහන්වේ.

පසුගිය රජය සමයේ සමාගමේ ඉහළම වැටුප් ලැබූ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා රුපියල් ලක්ෂ 15 ක පමණ මාසික වැටුපක් ලැබූ බව වෘත්තීය සමිතිය පෙන්වා දුන්නේ ය.

නමුත් වත්මන් රජය යටතේ ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන වාණිජ නිලධාරී, ප්‍රධාන පරිපාලන නිලධාරී හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී යන තනතුරු සඳහා පත් කිරීම් සිදුකර ඇති බව එම ලිපියේ සඳහන්වේ.

එම තනතුරු දරණ එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 40 කට ආසන්න ගෙවීමක් සිදු කරන බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles