Wednesday, April 17, 2024

කුරුන්චන්කර්නි පාරු ඛේදවාචකයේ පළමු වගඋත්තරකරු කින්නියා නගරාධිපති – රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

කින්නියා, කුරුන්චන්කර්නි කලපුවේ පාරුව පෙරලීමේ ඛේදවාචකයේ පළමු වගඋත්තරකරු කින්නියා නගර සභාවේ නගරාධිපති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (24) දින පාර්ලිමේන්තුවේදී පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“පාරු සේවාවක් පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේදයක් තියෙනවා. අවම තරමින් මේකට ජීවිත ආරක්ෂක කබායක්වත් නැහැ. මේ නිසා තමා කින්නියා ප්‍රදේශයේ අහිංසක ජනතාව මේ සිදුවීමට මුහුණ දෙන්නේ. පැහැදිලිව කියන්න ඕනේ මේකේ පළවෙනි වගඋත්තරකරු කින්නියා නගර සභාව කියළා.

පවතින විකල්ප මාර්ගය දුර වැඩි නිසා මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ වෙලා පාරු සේවයක් තාවකාලිකව පටන් ගන්න කියලා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කළා මීට මාස තුන හතරකට පෙර. ඒ නිසා මම පොරොන්දු වුනා පාරු සේවාවක් ආරම්භ කරනවා කියලා. 2021 ජුලි 14 දින කොන්ත්‍රාත් සමාගමට උපදෙස් ලබා දුන්නා මේ පිළිබදව කටයුතු කරන්න කියලා. පාරු සේවාවක් ආරම්භ කිරීම කොන්ත්‍රාත් සමාගමේ පළමු ගිවිසුමේ තිබුනෙ නැහැ.

ප්‍රදේශයේ ජනතාව හා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ඉල්ලීම පරිදි පාරු සේවාවක් ආරම්භ කිරීමට තීන්දු කළා. ඉංජිනේරුවරුන්ගේ අනුමැතිය මත කොන්ත්‍රාත් සමාගමට පාරු සේවාවක් ආරම්භ කරන්න ජුලි 14 අනුමැතිය දුන්නා. මාර්ග සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා නියමිත ක්‍රමවේදයන්ට පාරු සේවයක් ආරම්භ කරන්න යනකොට තමා නගර සභාව මේ අනාරක්ෂිත පාරු සේවයට අනුමැතිය දුන්නේ.

විපක්ෂය දේශපාලන වාසි ගන්න එපා

දිගින් දිගටම නගර සභාව හා ප්‍රාදේශීය සභාව අවසර ඉල්ලුවත් අවසර දුන්නෙ නැහැ. කින්නියා නගර සභාව මේ කරලා තියෙන්නෙ තමන්ට අයිති නැති කාර්යභාරයක්. පාරුවක් දාන්න හෝ පාරු සේවාවක් දාන්න කින්නියා නගර සභාවට කිසිම අනුමැතියක් නැහැ. මේ අවසර ලබා දීලා තියෙන්නෙ ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමාගේ මස්සිනා වුන මේකේ නගරාධිපති. පාරු සේවයට අවසර දුන්නේ නගරාධිපති. මේක කළේ ඒයාගේ පාක්ෂික රියාස්. මෙම කාර්යයන් දෙකටම සම්බන්ධ වෙලා තියෙන්නෙ මහරුෆ් මන්ත්‍රීතුමාගේ මස්සිනා. මේ සභාව සහ රටේ ජනතාව ඊයේ නොමග යැව්වා. මේ පාරු සේවාව කළේ තවුෆික් මන්ත්‍රීතුමා කියලා. එතුමා කළේ අනාරක්ෂිතව යන අය ආරක්ෂිතව යන්න පාලමක් හදන්න මුල්ගල තියපු එක විතරයි. අනාරක්ෂිතව යන පාරුවට අවසර දුන්නේ මේ ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමා සම්බන්ධ වෙලා. ඇත්ත කතාව මේකයි. විපක්ෂය මින් දේශපාලන වාසි ගන්න එපා.

විපක්ෂය ඇගිල්ල දිගු කරන්න ඕනේ නම් ඇගිල්ල දිගු කරන්න ඕනේ පාරු සේවයට අවසර දුන්නේ කවුද ? එය ආරක්ෂිත ක්‍රමවේදයට උපයෝගි කර නොගත්තේ කවුද ? කියන අයටයි.

ධූරය අත්හිටුවන්න

ඊයේ සිදුවීම සිදු නොවෙන්න ඕන දෙයක්. අපි අවසර ලබා දී නොතිබූ කටයුත්තක් සදහා මුදල් ඉපැයිමේ පරමාර්ථයෙන් කින්නියා නගරාධිපති මේ සඳහා අවසර ලබාදීම නිසා අහිංසක ජීවිත අහිමු වුනා. මේ පිළිබදව පරීක්ෂණයක් කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්, පොලිසීයභාර අමාත්‍යතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා අවසර ලබා දුන් නගරාධිපති සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගෙන ධූරය අත්හිටුවන්න කියලා විශේෂයෙන් ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලා සිටිනවා.

නැති බලයක් ආරුඪ කරගෙන කින්නියා නගරාධිපති කරපු මේ ක්‍රියාව නිසා තමා අහිංසක මිනිස්සු මැරුණේ. ඒ අයට සාධාරණයක් ඉටු කරන්න නම් කින්නියා නගරාධිපතිගේ වැඩ තහනම් කරන්න. කරපු අපරාධයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණයක් කරන්න කියලා ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා.” යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles