Friday, April 19, 2024

ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? – ජනපතිගේ කථාවට හර්ෂගෙන් පිළිතුරක්

ජනපති ජාතිය අමතමින් කළ ප්‍රකාශය අනුව ඉන්ධන හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව පහදා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි

මන්ත්‍රීවරයාගේ සටහන …

“ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද?

ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට ක⁣ටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ.

නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාව දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර වසරකට රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි.

ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන ආදායම වැඩිවන බවත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩුකර ගත හැකි බවත් ඔබතුමා පැවසුවා. ඔබ කියන විදිහට අර්බුදය කලින්ම දුටුවා නම් රුපියල කෘත්‍රීම ලෙස පාලනය කිරීමට උපදෙස් දුන්නේ ඇයි? ඒ තුළින් ඩොලර් බිලියන 04 ක පමණ ආදායමක් රටට අහිමි වූ බව ඔබතුමා දන්නවාද?

රුපියල ආරක්ෂා කිරීමට ඩොලර් බිලියන 1.5 ක් විතර පුච්චන්න වුණා ජනාධිපතිතුමනි. ඒ වගේම, රුපියල කෘත්‍රීම ලෙස පාලනය කිරීම නිසා රටට ඩොලර් බිලියන 2.5 ක පමණ විදේශ ප්‍රේෂණ ආදායමක් අහිමිවුණා. විදේශ විනිමය අර්බුදය දිග් ගැස්සුණේ ඒ විදිහටයි ජනාධිපතිතුමනි.

රට වෙනුවෙන් මේ අවස්ථාවේ විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්ච් කරන ලෙස ඔබ ඉල්ලා සිටිනවා. ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න තියා ඉන්ධන ටිකක් හොයාගන්නවත් බැරිවයි ජනතාව ඉන්නේ. අනිත් අතට, මේ වගේ ගිනි ගණන් වලට ඉන්ධන අරගෙන ඒවා ජනතාව නාස්ති කරයි කියල හිතන එකත් වැරදියි.

ඒ වගේම, ඉන්ධන සහ විදුලිය කියන්නේ ආර්ථිකයක ගාමක ශක්තිය. හයර් දුවන මනුස්සයෙක් ඉන්ධන පරිස්සමෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? ඔහුට හයර් දුවන එක අඩුකරල තමයි ජාතිය ගොඩ ගන්න ඔබ කියන සහයෝගය දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ ආර්ථිකය වැටෙනවා. සමස්තයක් විදිහට ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ආර්ථිකය වැටෙන එක.

 කෙසේවෙතත්, ඔබ රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. එය නායකයෙකු ලෙස හොඳ දෙයක්. නමුත්, මේ ගැටලු ඇතිවූයේ විචක්ෂණශීලී නොවූ ආර්ථික කළමනාකරණය නිසා යැයි ඔබට බැහැර කළ නොහැකියි.

ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ බවත් ඔබතුමා සඳහන් කළා. එය හොඳ දෙයක්. නමුත්, ගැටලුව වන්නේ අර්බුදය කල් තියා දුටුවා නම් මූල්‍ය  අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්නයි. මෙවැනි අර්බුදයකට රට වැටෙනු ඇති බවත් ඊට පෙර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට මාස 18 කට පෙර සිටම සඳහන් කළා.

අද ඔබ ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න වෙන්නෙ නෑ ජනාධිපතිතුමනි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles