Saturday, April 20, 2024

ගාල්ලේ පාසලක චෙක් වංචාවකට අත්අඩංගුවට ගත් පාසල් ලිපිකාරිනිය වස පානය කරයි

ගාල්ල ප්‍රදේශයේ පාසලක සිදුව ඇතැයි කියන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පාසලේ ලිපිකාරිනියක් ඊයේ (23) රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු වස පානය කර තිබෙනවා.මෙම ලිපිකාරිනිය පාසල් සංවර්ධන සමිතියේ චෙක්පත් ලිවීම සම්බන්ධ කටයුතු සිදුකර ඇති අතර එහි දී මුදල් වංචාවන් රැසක් සිදුව ඇතැයි එම විදුහලේ වත්මන් විදුහල්පති අතුල විජේවර්ධන මහතා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.එම පැමිණිල්ලට අනුව ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු මෙහෙයුම් මත ගාල්ල මූලස්ථාන පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (23) උදෑසන විමර්ශනය සඳහා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සැකකාරිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන් කැකුණාවෙල මහතා වෙත ඉදිරිපත් කෙරුණා.

පැමිණිලිකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ ඒ.ඩී.සී.දර්ශන සහ නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ මහත්වරුන් කියා සිටියේ 2021 වර්ෂයට අදාලව දැනට සොයාගෙන ඇති වංචා කළැයි සැකකරන මුදල රුපියල් ලක්ෂ 21කට අධික බවයි.එමෙන්ම එම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටින බැවින් ඔවුන් ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්න යැයි නීතිඥවරු මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.මේ සිද්ධියට අදාල අනෙකුත් සැකකරුවන් ද හඳුනාගෙන ඇති බව ගාල්ල විශේෂ වංචා විමර්ෂණ අංශය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටි අතර සිද්ධියට අදාළ චෙක්පත් රැසක් ඇති බැවින් සමස්ත විමර්ශනය මෙතෙක් අවසන්ව නොමැති බවත් අනෙකුත් සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව එම නිලධාරීහු මහේස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කළා.මෙතෙක් පරීක්ෂණ අවසන්ව නැති බැවින් එම සැකකාරිය දෙසැම්බර් 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළ අතර අනෙකුත් සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු එම සැකකාරිය බන්ධනාගාර මැදිරිය ආසන්නයේ දී යම් වස වර්ගයක් පානය කිරීමට උත්සාහ දරා ඇති අතර බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මැදිහත්ව එය වැළක්වීමට ද කටයුතු කර තිබුණා.කෙසේ වෙතත් ඇය සිහි මුර්ජා වී ඇති අතර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles