Friday, March 29, 2024

ගෑස් අර්බුදය ලබන සතියේ අවසන් ? තෙල් ගේන්න ඉන්දියාවෙන් ලැබුණු කෝටි 50 ඉන්ධන ගෙනෙයි

ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50 ක ණය මුදලක් ලැබී ඇති බවත් එම මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කැර ඇති බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ ,ඖෂධ සහ කර්මාන්ත සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනයට ඇමරිකානු ඩොලර් කෝටි 150 ක ණය මුදලක් ලැබී ඇතැයි පවසා ඇති ඇමතිවරයා එම භාණ්ඩ ආනයනයට ද මේ විට කටයුතු කරමින් පවතින බව සඳහන් කර ඇත .

ඉන්ධන සහ ගෑස් ආනයනයත් සමඟ, දැනට රටේ පවතින ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත .

ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟතාව පළකර ඇතැයි ද , ඒ අනුව ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අදම ආරම්භ කරන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කර ඇත.

මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් සමඟ තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එම ගෑස් තොගය සඳහා ගෙවිම් කර ඇති බවත් කෙරවළපිටිය පරියන්තය සඳහා ගෑස් තොග බෑම ආරම්භ කළ බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ සමඟම දෛනිකව ගෑස් සිලින්ඩර් 100,000 බැගින් වෙළෙඳපොළට නිකුත් කරන බවද ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික්ටොන් 3700 රැගත් නෞකාවේ ඇති ගෑස් තොගයෙන් තවත් දින තුනක් පමණ ගෑස් නිකුත් කළ හැකි බව ද ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ශ්‍රී ලංකාවේ මසක ගෑස් ඉල්ලුම මෙට්‍රික්ටොන් 35,000 ක් බවත් මේ වන විට මසකට ගෑස් මෙට්‍රික්ටොන් 10,000 ක් පමණක් ලැබීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

කෙසේ නමුත් රට පුරා මේ වනවිටත් ගෑස් මිලදීගැනීමට දිගු පෝලිම් දැකිය හැකියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles