Thursday, April 25, 2024

ජනතාවගේ විරෝධය මතුවූ සුපිරි වාහන සවාරියේ පිටුපස සිටියේ නාමල්ද ?

අධිබල යතුරුපැදි තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ගමන් කරමින් තිබු යතුරු පැදි සවාරියකට පුත්තලම ප්‍රදේශයේ දී ජනතාව විරෝධයක් පෑහ.

ඔවුන් කියා සිටියේ දැඩි ඉන්ධන හිඟයක් රටේ පවතිද්දී මෙවන් සවාරි සිදු කරන්නේ කෙසේද යනුවෙනි.

කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබූ මෙම යතුරුපැදි සවාරිය සමග අධි සුඛෝපභෝගී ජීප් රථ විශාල සංඛ්‍යාවක් එක්ව සිටියේය.

සවාරියට ඉදිරියෙන් පොලිස් පෙරගමන් යතුරුපැදි ගමන් කළ අතර එම පෙළපාලියේ අවසානයේ ඉන්ධන බවුසර ගමන් කල බවද කියති.

කොළඹ – පුත්තලම මාර්ගයේ ඊයේ දින (17) පැවති සුපිරි යතුරුපැදි වාහන රැළිය පිටුපස තමන් සිටින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

“ කල්පිටියේ පැවැත්වෙන යතුරුපැදි තරගය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෝ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කිසිදු ආධාරයක් ලබා දී නොමැත. එය සංවිධානය කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයට කිසිදු සම්බන්ධයක් නැති පෞද්ගලික ආයතනයක් විසින්” යැයි ක්‍රීඩා ඇමැතිවරයාගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත.

පොලිස් අවසරය ඇතිව සංවිධානය කර තිබූ මෙම රැලියට රටේ තත්ත්වය නොසලකා අනතුරුදායක ලෙස රිය පැදවීම සහ ඉන්ධන නාස්ති කරන බවට චෝදනා කරමින් සාමාන්‍ය ජනතාවගෙන් විරෝධතා රැසක් එල්ල විය.

මෙි අතර ධාවනයට තහනම් අධිබල යතුරුපැදි සහිතව පොලිස් ආරක්ෂාව යටතේ සංවිධානය කර තිබූ ආන්දෝලනාත්මක යතුරුපැදි සහ සුඛෝපභෝගී වාහන සහිත මෙම වාහන සවාරිය සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවා තිබේ.

Spin Rider Club නැමැති පුද්ගලික ආයතනයක් විසින් සංවිධානය කර තිබූ මෙම සවාරියේ ගමන්කළ යතුරු පැදි බොහොමයක් ලියාපදිංචි නොකල මෙරට ධාවනයට අවසර නොමැති යතුරු පැදි බව අමාත්‍යාංශයට නිරීක්ෂණය වී තිබේ.

පොලීසියේ නිලධාරීන් පවසන්නේ මෙවන් යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විටින් විට කළ වැටලීම්වලින් පසුගිය කාලය තුළ යතුරු පැදි 100 ක් පමණ පොලිස් භාරයට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

එම යතුරුපැදිකරුවන් පොලීසිවලට කතාකරමින් ඊයේ දිනයේ තමන්ගේ යතුරුපැදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නීතිය මෙයට නැත්තේ ඇයිදැයි විමසා ඇතැයිද පොලිස් නිලධාරීන් රැසක්ම සඳහන් කළහ.

එහෙත් පොලිස් මාධ්‍ය අංශය මේ සම්බන්ධව අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම ආයතනය සමාජ සත්කාරක ආයතනයක් බවත්, රජයේ කොන්දේසිවලට අනුකූලව මෙම සමාජ සත්කාර ව්‍යාපෘතියට අදාල කොටසක් වූ මෙම සවාරිය සඳහා අවසර ලබාදුන් බවත්ය.

මහරගම අපෙක්ෂා රෝහලට සිදුකළ මුදල් පරිත්‍යාගයකින් පසු කල්පිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෙදා දීමේ වැඩසටහනකට සමගාමීව එම යතුරුපැදි සවාරිය සඳහා වර්ෂ 2022.03.17 සහ 2020.03.19 දෙදින සඳහා මීරිගම සිට කල්පිටිය හරහා අනුරාධපුරයට ගමන් කිරිමට ඉල්ලූ නීත්‍යානුකූල අවසරය අනුව නියමිත කොන්දේසි ප්‍රකාරව එය ලබා දුන් බවත් පොලිස් මාධ්‍ය අංශය කීවේය.

පොලිස් මාධ්‍ය අංශය මේ යතුරුපැදි සවාරිය සමාජ සත්කාරයක් සඳහා සංවිධානය කළ එකක් බව අවධාරණය කර ඇත්තේය.

එහෙත් මේ පිළිබඳව නැගුණු මහජන විරොධය සහ කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම නිසා කල්පිටියේ සිට අනුරාධපුරයට යෑමට තිබූ සවාරිය නතර කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව නිවේදනය කළේය.

මේ සවාරියට සම්බන්ධ වූ පුද්ගලයන් නීති විරෝධීව කටයුතු කර තිබේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

කල්පිටියේ සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මීරිගම සිට පැමිණි මෙම යතුරුපැදි සවාරිය නතර කර තිබේ.

පොලිසිය පැවසුවේ, මහජන විරෝධය හා කොන්දේසිවලට පටහැනිවීම හේතුවෙන් යතුරුපැදි සවාරිය මෙලෙස නතර කළ බවයි.

පොලිස් ආරක්ෂාව ද සහිතව අධිසුඛෝපභෝගී වාහන ද සමගින් අධිබල යතුරු පැදි පිරිවරාගෙන කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා ඊයේ මෙම පෙලපාලිය සංවිධානය කර තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles