Friday, April 26, 2024

තව මාස තුන හතරකින් භාණ්ඩ මිල අඩුවේවි

ඉදිරි මාස තුන හතරක කාලයේදී භාණ්ඩ මිල අඩුවනු ඇතැයි අපේක්‍ෂා කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

කොරෝනා වසංගත තත්වයත් සමඟ නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලෝක වෙළඳපල තුළ භාණ්ඩ මිල ඉහළයාම නිසා ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි කී අමාත්‍යවරයා ඉන් ජනතාව අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් රජය කණගාටුවට පත්වන බව ද සඳහන් කළේය.

තමන්ගේ බලය යටතේ භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව අපහසුතාවය පත්වනු දැකීමට කිසිම රජයක් කැමති නැතැයි කී අමාත්‍යවරයා බටහිර දියුණු රටවල පවා භාණ්ඩ හිඟයක් සහ මිල වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි කීවේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙම තත්වය කළමනාකරණය කිරීමට රජය උපරිමයෙන් කැපවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විවෘත වෙළඳපල ආර්ථීකයක් ඇති රටක භාණ්ඩ මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත බව කී රමේෂ් පතිරණ මහතා කොවිඩ් වසංගත තත්වය තුළ නිෂ්පාදනය අඩුවීම, ඩොලර් හිඟය හා ලෝක වෙළඳපල මිල ඉහළයාමත් නිසා භාණ්ඩ මිල ඉහළ ගොස් ඇතැයි ප්‍රකාශ කළේය.

කිසිදු රජයක් තම පාලන කාලය තුල භාණ්ඩ මිල ඉහල යාම සම්බන්ධයෙන් සතුටු නොවන බව අවධාරණය කල අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙම තත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles