Saturday, August 13, 2022

දේවාලයේ ව්‍යාඝ්‍රයා….!

හිරාන් ද සේරම් මහතාගේ ෆේස්බුක් වෝලයේ තැබූ සටහනකි.

මරණීය අවදානම තිබියදීත්, මාස කිහිපයක් මුහුදේ පාවෙමින් තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුවක ටාර්පෝලීන සෙවණේ සීමිත ඉඩකඩ බෙදාහදා ගත් රිචර්ඩ් පාකර්, පයිසින් මොලිටර් පටෙල් නොපෑහෙන සගයින් දෙදෙනාටත් ජීවිතාපේක්ෂාව වෙනුවෙන් කිසියම් යුක්ති ධර්මතාවක පිහිටා කටයුතු කරන්නට සිදුවී තිබිණි. දැඩි අසීරුවෙන් අල්ලා ගනු ලැබූ ඩොරාඩෝවන්, පියාමැස්සන් බෙදාගෙන කමින් ද, පැසිෆික් සාගර තලයට ඉහළින් නැඟෙන දැඩි හිරු රශ්මියේ පිළිස්සෙමින් ද මරණය අපේක්ෂාවෙන් සිටි විපතට පත් නාවුක මඟීන් දෙදෙනා අවසානයේ දී සිය නෞකාව දියබත් ව ගෙවුණු දින දෙසිය විසි හතකට පසුව මෙක්සිකානු වැල්ලට ගොඩ ගසන ලද්දෙන් යළි ජීවිතය ලද්දෝ ය.

හාමත විසින් කණගාටුදායක ලෙස කෘෂ කරවනු ලැබූ බෙංගාලි ව්‍යාඝයා, රිචර්ඩ් පාකර් වැල්ල මත සිය දුර්වල පා ඔබා, තම ගමන් සගයා වෙත එකදු සමුගැන්මේ බැල්මක් හෝ නොහෙලා නුදුරෙන් පෙනෙන කුඩා වනපෙත තුළ සැඟව ගියෙන් පයිසින් මොලිටර් පටෙල් ගේ හදවත පෑරිණි. ඒ කැනේඩියානු ලේඛක යෑන් මාර්ටෙල් ගේ සිත තුළ පිළිසිඳ ගත් ප්‍රබන්ධමය සංකල්පනාවකට අනුව ය. ලොව පුරා පිටපත් දස ලක්ෂයකට අධික සංඛ්‍යාවක් විකිණී ගිය Life of Pi නවකතාවත්, එය පාදක කොටගත් සිනමාපටයත් අනුව ය.

කෙසේ වුවත් ඉතා දැඩි වඳවීමේ යාමේ තර්ජනයට මුහුණ දෙමින් හිඳින බෙංගාලි ව්‍යාඝ්‍රයන් පිළිබඳ පළ වී ඇති වාර්තා සටහන්, රිචර්ඩ් පාකර් පිළිබඳ තරම් සුමුදු, හුරුබුහුටි ස්වරූපයක් නොගන්නා අතර, ඒ ඇතැම් සටහන් මිනිස් වර්ගයා ගේ රුධිරයෙන් පෙඟී ගත්, ඇඟ ලොමු දැහැ ගැනෙන බිහිසුණු කතා ප්‍රවෘත්තීන් ය.

දස වසරකට අධික කාලයක් ඉන්දියානු හිමාලය ආශ්‍රිත නේපාල සහ කුමාඔන් කලාප අතර මරණීය භීතිය වපුරමින්, මිනිස් ජීවිත හාරසිය තිස් හයකට දිවි අහිමි කළ “චම්පාවත් හි මිනී කන ව්‍යාඝ්‍ර ධේනුව”, ලොව වැඩිම ජන සංහාරයක් සිදු කළ ව්‍යාඝ්‍ර‍යා ලෙස ගිනස් වාර්තාවකට උරුමකම් කියන්නී ය. ඒ ඈ වෙත වනබද ඉන්දියානු ජනතාව විසින් පුදකර දුන් “චම්පාවත් හි ව්‍යාඝ්‍ර රැජින” නම් බියකරු කිරුළට අමතරව ය.

දහනව වන සියවසේ අවසාන වසර කිහිපයත්, විසිවන සියවසේ මුල් වසර කිහිපයත් ඒකාබද්ධ කළ දශකයක පමණ වූ කෙටි කාලය මුළුල්ලේ, ඉතා සැලසුම් සහගත වූ තමාටම අනන්‍ය දඩයම් රටාවක් ප්‍රකට කළ චම්පාවත් ව්‍යාඝ්‍ර ධේනුව, ඈට උරුම බෙංගාල ජාන උරුමය ඉක්මවූ දැඩි ප්‍රචණ්ඩ බවක් පෙන්නුම් කළේ ඈ තුළ සයිබීරියානු ව්‍යාඝ්‍ර ජාන උරුමයක් සැඟවී ඇතිදැයි සත්ව විද්‍යාඥයින් අතර විචාරයට බඳුන් වෙමිනි.

බටහිර නේපාලයේ රූපාල් නම් දිළිඳු ගම්මානයෙන් ඇරඹි චම්පාවත් රැජින ගේ මානව ඝාතන ක්‍රියාවලිය 1907 දී බ්‍රිතාන්‍ය ජාතික වෙඩික්කරුවෙකු විසින් නිහඬ කෙරෙන තෙක් වාර්තා පිට වාර්තා තබමින් අඛන්ඩව ඇදී ගියේ ය. තමන් වෙත එල්ල කෙරෙන සියළු සැක මුසු අවස්ථා මඟ හරිමින් තම එල්ලය සොයා නිවැරදිව හඹා ගිය ඈ, බොහෝ ඉලක්කයන් සපුරා ගත්තේ දිනපතා රාත්‍රියේ සැතපුම් විස්සකට අධික දුරක් අති දුෂ්කර මාර්ගයන් හි නිහඬවම සැඟව ගමන් කරමිනි. නේපාලයේ වනගත ජනාවාස වෙත මරණයේ සෙවණැල්ල කැන්දා ලූ ඈ පසුව කුමාඔන් සහ චම්පාවත් අතර පුළුල් වපසරියක පැතිරී ගත් සුවිශාල ගොදුරු බිමක් නිර්මාණය කරගත්තා ය.

බොහෝ විට ඇගේ ඉලක්කයන් වූයේ දර කඩා ගැනීමටත්, සිය ගවයන්ට තණ කවා ගැනීමටත් වනය තුළට වැදෙන ගැහැණුන් සහ කුඩා දරුවන් වූ අතර ඒ සියළුම පහර දීම් දිවා කාලය තුළ සිදුවී තිබීම විශේෂත්වයකි. ඇගේ බියකරු ගර්ජනාව නිතර ඒ ආසන්න වනපෙතෙන් ඇසන්නට වූ පසු, බොහෝ මිනිසුන් සිය ආදායම් මාර්ග සලසා ගැනීම සඳහා නිවසින් එළියට බැසීම ප්‍රතික්ෂේප කළහ. එසේ නිර්භීත වූ සෙසු අය අතරින් බහුතරය කිසිදා යළි ජීවමානව වනගැබෙන් පිටතට නොආ අතර චම්පාවත් රැජින ගේ වාර්තාගත ඝාතන ලයිස්තුවට ඉතා අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ නම් ඇතුළත් කරගත්තෝ ය.

නේපාල දේශසීමා ආසන්න කඳුකරයේ ජන ජීවිතය එසේ බිඳ වැටෙද්දී, ඝාතක බිළාලයා විනාශ කිරීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම රජය විසින් දඩයක්කරුවන් යොදවන ලද නමුත් ව්‍යාඝ්‍ර ධේනුව ඉතා සූක්ෂමව ඔවුන් මඟ හැර ගියා ය. ජනතාවගෙන් එල්ල වූ දැඩි බලපෑම් අනුව යමින් නේපාල රජයේ හමුදා භට කණ්ඩයක් කැඳවන ලද අතර ව්‍යාඝ්‍රයා මරා දැමීමට අපොහොසත් වුවත් ඔවුන් විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය මඟින් ඈව සර්දා ගඟ හරහා දේශසීමාවෙන් ඔබ්බට වූ ඉන්දියානු කලාපයට පන්නා දමන ලදී. කුමාඔන් දිස්ත්‍රික්කය ඇගේ බරැති නිය පහුරු අතර ගිලී ගත් අවාසනාවන්ත යුගයට මුහුණ පෑවේ ඉන් අනතුරුව ය.

ෆන්ගාර් ගම්මානයේ විසූ දාසය වියැති දැරියක වූ ප්‍රේම්කා දේවි අවසානයේ චම්පාවත් රැජිනට සිය ඉරණම මුණගැස්වූවා ය. ව්‍යාඝ්‍ර ධේනුව විසින් පහර දී ඇදගෙන යන ලද දැරියගේ ලේ සලකුණු ඔස්සේ ගිය බ්‍රිතාන්‍ය ජාතික දඩයක්කරු ජිම් කෝර්බට්, ඓතිහාසික පුරාවෘත්තයක් නිමා කරලීම උදෙසා ගම්වාසීන් තුන්සියයක පමණ සහය ඇතිව විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය. චම්පාවත් ගංගා දුර්ගය පසු කර ගිය කණ්ඩායමට සිය ගොදුර සමඟ හුන් වන මෘගයා හමුවූ අතර, දහවල් එකට පමණ කෝර්බට් තැබූ වෙඩි පහර දෙකකින් චම්පාවත් ව්‍යාඝ්‍ර ධේනුව සදහටම නිසල වූවා ය.

පසුව සිදු කරන ලද මරණ පරික්ෂණයේ දී, ඇගේ උඩ සහ යට ඇඳිවල රදනක දත් කැඩී විනාශ වී තිබෙනු දැකගන්නට ලැබුණු අතර, කාලයකට පෙර දඩයක්කරුවන් විසින් තබන ලද වෙඩි පහරක් ඊට හේතුවන්නට ඇතැයි ජිබ් කෝර්බට් පවසා තිබිණි. තම සාමාන්‍ය ජීවන පැවැත්ම අහිමි වූ විනාශකාරී දඩයම් රටාවක් ඈ වෙත උරුම කළ හේතුවත්, ගැහැණුන්, දරුවන් වැනි ඉතා පහසු ගොදුරු කරා ඇගේ අවධානය යොමු වූ පසුබිමත් ඒ අනුව ප්‍රත්‍යක්ෂ කර ගැණිනි. බාහිරින් ඉතා රුදුරු බව පෙන්නුම් කරන වන සපුන් බොහෝ විට මිනිස් වර්ගයාගේම නොසැලකිලිමත් බවක අවාසනාවන්ත ප්‍රතිපල බවට එය අනගි සාක්ෂියක් වූවේ ය.

වන විනාශයත්, අහිතකර මානව ක්‍රියාකාරිත්වයත් විසින් මිනී මසට ලොල් වන මෘගයන් බිහි කිරීම වේගවත්ව සිදු කරෙමින් තිබූ පසුබිමක, චම්පාවත් රැජින ඝාතනයෙන් අත් කරගත් කීර්තිය ජිම් කෝර්බට් වෙත කාර්යබහුල යුගයක් නිර්මාණය කරදුන්නේ ය. 1907, 1938 කාලය ඇතුළත ඔහු විසින් ජන ඝාතක ව්‍යාඝ්‍රයින් දහහතර දෙනෙකු මරා දමන ලදී. පානාර්, තල්ලා දේස්, මෝනාත් සහ තාක් හි මිනී කන ව්‍යාඝ්‍රයන් ඒ ලැයිස්තුවේ ප්‍රමුඛයන් ය.

එල්ලය නොවැරැද්දූ දඩයක්කරුවෙකු වුවත්, යම් නිශ්චිත මොහොතක පැන නැඟුණු සංවේදනාවක් හද තුළ දරා සිටි බැවින්, ඉන්දීය වන බිම් තුළින් මේ අත්‍යාලංකාර වන මෘගයන් වඳවී යාමේ ශීඝ්‍රතාවය සියැසින් දැක මහා දඩයක්කරු කම්පා වූයේ ය. කුමාඔන් කඳුකරයේ ප්‍රථම ජාතික වනෝද්‍යානය බිහි කිරීමට මුල් වී ක්‍රියා කරමින් පසු කාලීනව ඔහු විසින් සිදුකළ පාරිසරික මෙහෙයුම හේතුවෙන් අද ඉන්දියාව සතුව ජිම් කෝර්බට් ජාතික වනෝද්‍යානය නමින් අසිරිමත් වන උයනක් ඉතිරි වී තිබේ. මිහිමත අගනා නිර්මාණයක් වූ ශෝභමාන බෙංගාලි ව්‍යාඝ්‍රයින් අද වනවිට ඉන්දියානු දේශයට ජාතික වස්තුවකි. ඉතා විධිමත් සහ ප්‍රශංසාත්මක නීති පද්ධතියකින් ඔවුන් සංරක්ෂණය කෙරේ.

ජූලි 29 දා ව්‍යාඝ්‍රයින් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනයයි. අවිද්‍යාව මත පදනම් වූ අවිචාරශීලී ඇදහිලි පවත්වා ගැනීම සඳහා ව්‍යාඝ්‍ර සම්, දත් සහ නිය වලට ආසියාතික රටවල ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් කසා පැහැති විල්ලුද සම මත කළු වයිරමින් ශෝභමාන කෙරුණු මේ මනස්කාන්ත වන සතුන් මේ වනවිටත් ඉන්දියානු වන බිම් තුළ රහසේම ඝාතනය වෙමින් තිබේ.

රිදියගම එළිමහන් සෆාරි උයන තුළදීත්, දෙහිවල සත්වෝද්‍යානය තුළදීත් උපත ලද බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් සිවු දෙනෙකු දැනටමත් අප සතුව හිඳිති. සිරගත දිවියක් ගෙවන්නට නියම වුවත් ඔවුන් කිසිදාක මිල කළ නොහැකි, වසර දහස් ගණනක අභිමානවත් ජාන උරුමයක් දරාගෙන පැමිණි මිහිතලයේ සැබෑ උරුමකරුවන් ය. ඉතින්, ලොව පුරා වනබිම් තුළ තවමත් නැඟෙන රාජකීය ගර්ජනාව තව බොහෝ කල් ඇසිය යුතුය. මේ ඊට ගෞරව වශයෙනි.

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles