Thursday, April 25, 2024

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.

ජපානය, තායිලන්තය සඳහා නව තානාපතිවරු ද දකුණු අප්‍රිකාව සඳහා මහ කොමසාරිස්වරයෙක් ද පත්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව,

  1. තායිලන්තයේ තානාපතිවරයා ලෙස පොඡ් හාන්පොල් (Poj Harnpol)
  2. දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස්වරයා ලෙස සන්ඩීලේ එඩ්වින් ශල්ක් (Sandile Edwin Schalk)
  3. ජපානයේ තානාපතිවරයා ලෙස හිඩෙකි මිෂුකොෂි (Hideaki Mizukoshi) අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කරගැනීමට කැපවන බව නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනාධිපතිතුමා සමඟ පවසා තිබෙනවා.

කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග, එන්නත්කරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සහ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ආර්ථික කළමනාකරණයේ දී මුහුණ දීමට ඇති අභියෝග පිළිබඳ ජනාධිපතිතුමා නව තානාපතිවරු දැනුවත් කළ බවද සඳහන්.

එහිදී සියලු රාජ්‍යයන් එක්ව වැඩ කිරීමේ සහ එකිනෙකාට සහාය වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් වසංගතය පාලනයට සහ එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව තානාපතිවරු ජනාධිපතිතුමා වෙත සිය ප්‍රසාදය පළ කලා.

තම රජය නව සාමාන්‍යකරණය යටතේ ආර්ථික කටයුතු මෙහෙයවීමට අපේක්ෂා කරන ආකාරය පැහැදිලි කළ ජනාධිපතිතුමා, මෙරට ආයෝජන අවස්ථා සඳහා එම රටවල ආයෝජකයන්ට ඉඩ ප්‍රස්ථා විවෘතව ඇති බවද ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

කාබනික පොහොර භාවිතයට යොමු වෙමින් හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සහ මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් ඉහළ ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට ගෙන ඇති පියවර ජනාධිපතිතුමා විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ දැනුම මෙරටට ලබාදීමට සහාය වන ලෙස ජනාධිපතිතුමා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. තමා ආරක්ෂක ලේකම්වරයා ලෙස දකුණු අප්‍රිකාවේ කළ සංචාරයන් සිහිපත් කළ ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී “ජයිකා” ආයතනය සමග සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉතා සමීපව කටයුතු කිරීමට හැකි වූ බව සඳහන් කළ බවද එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායකත්වය ලබාදෙන බව තායිලන්තයේ තානාපති පොඡ් හාන්පොල් සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සන්ඩීලේ එඩ්වින් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර 70 වසරක තානාපති සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බව ජපාන තානාපති හිඩෙකි මිෂුකොෂි මහතා සඳහන් කළේය. කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, ප්‍රධාන සංධාන නිලධාරි තුෂාර රොද්‍රිගෝ සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (මාධ්‍ය) සුදේව හෙට්ටිආරච්චි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles