Friday, March 29, 2024

නිවෙස්ගතව ප්‍රතිකාර ගන්නා කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්

දෛනිකව නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නීය.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මේ බව සඳහන් කළාය.

“19 වනදා වනවිට අපි දැක්ක රෝගීන් සංඛ්‍යාව 4,508ක්, ඊට ඉස්සෙල්ලා දවසේ 18 වනදා වන විට හිටියේ 4,325යි. රෝගීන් 180 ගානක වගේ වැඩි වීමක් දෛනිකව අපි මේ දවස ඇතුළත දැකලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම රෝගීන් වැඩිවීමක ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. ඒ අනුව අපට පේනවා රෝගීන්ට රෝගය කොහෙන්ද බෝ වුණේ කියන මුලාශ්‍රය හොයා ගැනීමේ අපහසුතාවයකුත් ඇත්තටම පෙන්නුම් කරනවා. මෙහෙම බලනකොට මේ රෝගය සාමාජයේ බොහෝදුරට පැතිරිලා කියන එක තමයි හිතන්න පුළුවන් කාරණය. දැන් ඇත්තටම මේ වෙනකොට රජය උත්සව සඳහා දිලා තියෙන සීමාවන් ලිහිල් කරලා තියෙනවා. ඒ සීමාවන් ලිහිල් කරලා තියෙන කොට ඇත්තටම ඒ උත්සව කටයුතු සාර්ථකව කර ගන්නට නම් මේ රෝගයත් පාලනය කරගෙන ඒ අවශ්‍ය කටයුත්ත කර ගැනීමට අපි ඇත්තටම හැමෝම මහජනතාව හැටියට හිතට ගන්න ඕනේ.”

මේ අතර ගත වූ දිනයේ පුද්ගලයින් 35,000 ඉක්මවූ පිරිසක් සඳහා බූස්ටර් මාත්‍රාව ලබාදී තිබේ.

පුද්ගලයින් 35,258 දෙනෙකු සඳහා ඊයේ (20) දිනයේ බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදී ඇති අතර මේ වන විට එම මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 240,111 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ද පුද්ගලයින් 8,431 දෙනෙකු සඳහාත් ලබාදී තිබේ.

දෙවන මාත්‍රාව පුද්ගලයින් 9,290 දෙනෙකු සඳහා ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles