Tuesday, April 16, 2024

පද්ම ශ්‍රී සම්මානය ලැබූ කුලඟනෝ

නර්තන කලාවට සහ හින්දි භාෂාව ප්‍රචලිත කිරීමට දායකත්වයක් දැක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තාවන් දෙදෙනෙක් ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා සිටිති. ශ්‍රී ලාංකේය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටුකළ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය මෙම සම්මානයෙන් පුද ලබා සිටිති. ඔවුන් දෙදෙනා තම ක්‍ෂේත්‍රයන් වෙනුවෙන් ලබාදුන් පුරෝගාමී දායකත්වය සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා කරන ලද දායකත්වය අගයමින් මෙම සම්මානය පුදකර ඇතැයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබේ.

පද්ම සම්මාන එරටේ ඉහළම සිවිල් සම්මානවලින් එකකි. එය පද්ම විභූෂන්, පද්ම භූෂන් සහ පද්ම ශ්‍රී යන කාණ්ඩ තුනකින් ප්‍රදානය කෙරේ. එය සෑම වසරකම ජනරජ දිනය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කෙරෙන අතර 71 වැනි ජනරජ දිනය නිමිත්තෙන් 2020 වසරේ මෙම සම්මානලාභීන් ප්‍රකාශයට පත් කර තිබූ අතර සම්මාන ප්‍රදානය 2021 නොවැම්බර් 8 දා රාශ්ට්‍රපති භවනේදී සිදු කෙරිණි.රාජ්‍ය සේවයේ සෑම අංශයකම සාධනීය ක්‍රියාකාරකම් හෝ විෂය ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ හඳුනාගෙන ඒවා අගය කිරීම මෙම සම්මානයේ අරමුණ වේ.

කලාව, සමාජ වැඩ, පොදු කටයුතු, විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව, වෙළෙඳ හා කර්මාන්ත, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ අධ්‍යාපනය, ක්‍රීඩා, සිවිල් සේවය යන අංශයන්හි සුවිශේෂී සහ විශිෂ්ට සේවාවන් සඳහා ‘පද්ම විභූෂන්’ සම්මානයත්, එම ක්ෂේත්‍රයන්හි ඉහළ පෙළේ විශිෂ්ට සේවාවන් සඳහා ‘පද්ම භූෂන්‘ සම්මානයත්, විශිෂ්ට සේවය සඳහා ‘පද්ම ශ්‍රී’ සම්මානයත් ප්‍රදානය කෙරේ. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් නම්කරන ලද “පද්ම සම්මාන” කමිටුව මගින් කරනු ලබන නිර්දේශ මත සෑම වසරකම මාර්තු/ අප්‍රේල් මාසවලදී රාෂ්ට්‍රපති භවන්හි පැවැත්වෙන උත්සවයකදී ඉන්දීය ජනාධිපතිවරයා විසින් මෙම සම්මාන ප්‍රදානය කරනු ලබයි. 2020 වසර සඳහා පද්ම සම්මාන 141 ක් පිරිනැමීමට ඉන්දීය ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී ඇත. මෙම ලැයිස්තුවට පද්ම විභූෂන් සම්මාන හතක්, පද්ම භූෂන් සම්මාන 16 ක් සහ පද්ම ශ්‍රී සම්මාන 118 ක් ඇතුළත් වේ. මෙවර සම්මානලාභීන්ගෙන් තිස් හතර දෙනකු කාන්තාවන්ය. මෙම 118 දෙනාගේ ලැයිස්තුවට විදේශිකයන්, විදේශගත ඉන්දියානුවන්, ඉන්දියාවේ පුරවැසිභාවය හිමි විදේශිකයන් 18 දෙනෙක් සහ අභාවප්‍රාප්ත පුද්ගලයන් 12 දෙනෙක් ද ඇතුළත් වෙති.

ආචාර්ය වජිරා චිත්‍රසේන

මෙම අගනා සම්මානයට පාත්‍ර වූ 87 හැවිරිදි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලංකා නර්තනයේ ජීවමාන පුරාවෘත්තයක් වන අතර සම්ප්‍රදායිකව පිරිමින්ට පමණක් සීමා වූ උඩරට නර්තන කලාව පූර්ණකාලීන වෘත්තීය කරගත් පළමු ශ්‍රී ලාංකික කාන්තාවයි. නර්තන ක්ෂේත්‍රයේ පුරෝගාමිකයකු වූ ඇගේ අභාවප්‍රාප්ත සැමියා වන චිත්‍රසේන ඇගේ ගුරු විය. ඔහු සමඟ ලොව පුරා නර්තන සංදර්ශන පැවැත්වූ ඇය නව නිෂ්පාදන රුසක් මෙරට ප්‍රේක්ෂකයාට දායාද කළාය.

ඇගේ සෞන්දර්ය චාරිකාව දශක හයක් පුරා දිවෙන්නකි. ඇය මේ වන විට චිත්‍රසේන-වජිරා නර්තන පදනම භාරව සිටින අතර නර්තන පාසලේ විදුහල්පතිනිය ද වේ. වජිරා චිත්‍රසේන ඉන්දියාව, රුසියාව, අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් කිහිපයක නර්තනය ඉගැන්වීමේ ක්‍රමවේද පිළිබඳව පර් ‍යේ ෂණ කළ ගුරුවරියකි. නර්තන විද්‍යාව, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ ඉගැන්වීම යන අංශයන්හි ඇය විශිෂ්ට දක්ෂතා දැක්වූවාය. නර්තන කලාව ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේම කලා ආකෘතීන්, විශේෂයෙන් උඩරට නර්තනය හා සහ ඉන්දියානු ඔඩිසි නර්තනය යන නර්තන කලාවන්ගේ සම්මිශ්‍රණයෙන් යුතු නර්තන කලාවක් බිහි කිරීමට ද ඇය පුරෝගාමී වූවාය.චිත්‍රසේන යුවළට ඉන්දියාව සමඟ විශේෂ බැඳීමක් පැවැතියේය. ඔවුහු 1959 සිට 1998 දක්වා බොහෝ සංචාරවල නිරත වූ අතර විවිධ ශානරයන්හි නර්තන ශිල්පීන් සමඟ සබඳතා පැවැත්වූහ. ශ්‍රී ලංකාවේ ඉහළම ජාතික සම්මානවලින් එකක් වන දේශබන්දු සම්මානය ඇතුළු සම්මාන රුසකින් ආචාර්ය වජිරා චිත්‍රසේන පිදුම් ලබා තිබේ.

මහාචාර්ය ඉන්ද්‍රා දසනායක

මෙවර පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද අනෙක් ශ්‍රී ලාංකික පුරවැසියා අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියයි. 1943 වසරේ ඉන්දියාවේ උපන් ඇය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ කෝටාහි භීම්මණ්ඩි බාලිකා විද්‍යාලයෙනි. ලක්නව් විශ්වවිද්‍යාලයෙන් හින්දි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත් ලබාගන්නා ඇය 1969 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ ආධුනික කථිකාචාර්යවරියක ලෙස සේවයට එක් වූවාය. පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් මත ආචාර්ය උපාධිය සඳහා 1973 දී නැවතත් උත්තර භාරතයට ගියාය. 1975 දී නාග්පූර්හි පැවති පළමු ලෝක හින්දි සමුළුවට සහභාගී වීමටද ඇය වරම් ලැබුවාය.ඇය 1976 දී කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දී භාෂාව පිළිබඳ මහාචාර්යවරිය ලෙස පත්වූවාය.

මහාචාර්ය ඉන්ද්‍රා දසනායක ශ්‍රී ලංකාවේ හින්දි භාෂාව ඉගැන්වීමේ පුරෝගාමිකාවක ලෙස සැලකේ.1995 දී කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශය යළි ස්ථාපනය කිරීමට සුවිශාල මෙහෙයක් ඇය වෙතින් ඉටු විය. වත්මනෙහි මෙරට ඇති විශාලතම හින්දි අධ්‍යයන අංශය ඇත්තේ එම විශ්වවිද්‍යාලයේය. ඇයගේ දිරිගැන්වීම මත මේ වන විට පාසල් සහ අධ්‍යාපන ආයතන 80කට අධික ප්‍රමාණයක හා විශ්වවිද්‍යාල හයක හින්දි භාෂාව විෂයක් ලෙස ඉගැන්වේ. හින්දි භාෂාවට ශාස්ත්‍රීය පදනමක් සහ අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීමේ ගෞරවය ඇයට හිමි වෙයි.

විශ්වවිද්‍යාල සහ පාසල් අධ්‍යාපනයට හින්දි භාෂාව සහ සාහිත්‍යය හඳුන්වා දුන්නේ ඇයයි. මෙරට විශ්වවිද්‍යාල අතර කැලණිය, ජයවර්ධනපුර, සබරගමුව, රුහුණ, මොරටුව, සෞන්දර්ය හා කලා, ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේදය, කොළඹ දේශීය වෛද්‍යායතනය, ශ්‍රී පාලි මණ්ඩපය වැනි ආයතනයන්හි හින්දි භාෂාව උපාධි පාඨමාලාවක් ලෙස හෝ විෂයක් ලෙස හෝ ඉගැන්වෙන්නේ ඇයගේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙසිනි.1983 දී නවදිල්ලියේ පැවැත්වූ තෙවැනි හින්දි ජගත් සම්මේලනයේදී මහාචාර්ය ඉන්ද්‍රා දසනායක “සරස්වතී” සම්මානයෙන් පුද ලද අතර අඩසියවසකට ආසන්න කාලයක සිට හින්දි භාෂාවේ උන්නතිය වෙනුවෙන් ඇය සිදු කළ අතිවිශිෂ්ට සේවාව වෙනුවෙන් 2007 වසරේදී ඉන්දියාවෙන් පිරිනැමුණු ආචාර්ය ඡෝර්ඡ් ග්‍රියර්සන් සම්මානයද හිමිකර ගත්තාය. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයටත් හින්දි විෂයටත් කළ මෙහෙය උදෙසා ඇයට 2012 වසරේදී සාහිත්‍ය චක්‍රවර්තී සම්මානය හිමිවිය.2019 සැප්තැම්බර් 27 දින ඇය ලොව හැර ගියාය.ඉන්දියානු රජය අවසන් වරට ශ්‍රී ලාංකිකයකු පද්ම ශ්‍රී සම්මානයෙන් පුදන ලද්දේ ගෞරවය පිරිනැමුවේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ටය. ඒ 2002 වසරේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles