Friday, April 19, 2024

පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරන අයගේ කටවල් කටවල් වහනවා – හර්ෂණ රාජකරැණා

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ඇත්ත සොයනවා වෙනුවට ඒ පිළිබඳ කතා කරන අයගේ කටවල්  වැසීම ආණ්ඩුවේ වැඩපිළිවෙළ බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය ඉදිරියට ගෙන එන බව පවසා බලයට පත් වූ ආණ්ඩුව අද ඒ පිළිබඳ කතා කරන චෝදනා නගන පිරිස් දඩයම් කිරීම ආරම්භ කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන විමර්ශන පිළිබඳව සතපහක විශ්වාසයක් ජනතාවට නොමැති බැවින්  ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් සිදුකරන ලෙස විපක්ෂය ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්  අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

   “මේ ආණ්ඩුව බලයට පත් වෙන්න වේදිකා වල කතා කරපු ප්‍රධානතම මාතෘකාව තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය. ආණ්ඩුව පත් වුණ ගමන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන එනවා කිවුවා. අද වන විට නීතිය හමුවට ගෙන එන්නේ ඒ චූදිතයන්ද නැත්නම් මේ චෝදනා කරන අයද කියන ගැටලුව අද ඇතිවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කතා කරන සියළුම පිරිස් විපක්ෂය වේවා, පූජකතුමන්ලා වේවා  ඒ සියලුම දෙනාට පාඩමක් උගන්වන්න මේ රජයට උවමනාවක් තියෙනවා. වැඩිය කතා කරන්න එපා කතා කරොත් වෙන දේ ගැන අද අනතුරු අඟවමින් සිටිනවා. අද පූජකතුමන්ලා ගෙනල්ලා පැය විස්සකට වැඩි කාලයක් කට උත්තර ගන්නවා. දින ගණන් රස්තියාදුකරනවා.  සිරිල් ගාමිණී පියතුමා කියන්නේ සාමාන්‍ය පූජක තුමෙක් නෙමෙයි එතුමා තමයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක. පොලිසියට පුළුවන් එතුමා ළඟට ගිහින් මේ ගැන විමසන්න. ඔය රජ පවුල්වල අය පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේ නැහැ.

මේ කරන දේවල් එක්ක මේ ගැන දන්න කෙනෙක් ආයෙ ඉදිරියට එයිද කියන ගැටලුව මතු වෙනවා. මේ ආණ්ඩුවට අද අවශ්‍ය වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හොයන්න නෙමෙයි. 

පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කරන අයගේ කටවල් වහන එකයි.

මේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු ගැන  සොයයි ද නැද්ද කියන එක ගැන අපට සතපහක සත පහක විශ්වාසයක් නැහැ. මේ තියෙන අකාර්යක්ෂම පරීක්ෂණ වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කරන්න කියලා මේ රජයෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ ආණ්ඩුව කරන පරීක්ෂණ ගැන අපට විශ්වාසයක් නැහැ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles