Saturday, April 20, 2024

“බ්‍රිතාන්‍යයෙකු නොවූ ලොව ප්‍රථම සහ එකම MCC සභාපති ඔහුය” – කුමාර් සංගක්කාර ඔබට සුබ උපන් දිනයක් .!

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවක් රැස් කර ඇති ක්‍රීඩකයා වන අප කවුරුත් හොඳින් හඳුනන කුමාර් සංගක්කාර අද සිය 44 වන ජන්ම දිනය සමරනු ලබනවා.මෙි අප ඔහු වෙනුවෙන් තබන සටහනකි.

” ශාරුක් ඛාන් තමයි මගේ ප්‍රියතම නළුවා. ඔහු අති විශිෂ්ඨ පුද්ගලයෙක් ඒ වගේම හරිම බුද්ධිමත්. ඔහු අමිතාබ් බච්චන් සමඟ කල සම්මුඛ සාකච්ඡාවක් වරක් දුටුවා. ඔහු කෙතරම් අවංක පුද්ගලයෙකුද යන්න මට හිතා ගන්න බැරි උනා “

2012 වසරේ පැවති IPL තරඟාවලියෙහි Decan Chargers කණ්ඩායම මෙහෙයවූ කුමාර් සංගක්කාර එහිදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යවේදීයෙකු විසින් ඉන්දියානු චිත්‍රපට හා බොලිවුඩය පිළිබඳව විමසූ අමතර ප්‍රශ්නයකට පිලිතුරු දීමක් වශයෙන් මෙලෙස ප්‍රකාශ කර තිබුනා.

2015 වසරේ එංගලන්තයේදී පැවති 5 වන ආසියානු සම්මාන උළෙලට ශාරුක් ඛාන් හා කුමාර් සංගක්කාර සහභාගී වී සිටියා. එහිදී සිනමාව වෙනුවෙන් කැපී පෙනෙන ජයග්‍රහණයට හිමි සම්මානය ශාරුක් ඛාන් විසින්ද ක්‍රීඩාව වෙනුවෙන් කැපී පෙනෙන ජයග්‍රහණයට හිමි සම්මානය කුමාර් සංගක්කාර විසින් ලෙස දිනා ගනිමින් සිනමාව හා ක්‍රීඩාව යන අංශ දෙක ඔස්සේ තම රටට ගෞරවයක් ගෙන ඒමට ශාරුක් හා සංගක්කාර සමත් වුනා.

2011 වසරේදී ලන්ඩන් නුවර සුප්‍රකට කොලින් ක්‍රවුඩි දේශනය පවත්වන්නට එදා මෙදා තුර සහභාගී වූ එකම ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් ඉතිහාසයේ එවැනි ඇරයුමක් ලැබූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසත් ක්‍රීඩාවේ නියැලී සිටින අතරතුරදීම එම සම්මානය ලැබූ ක්‍රීඩකයෙක් ලෙසටත් වාර්තා පොත් වල ලියැවුණු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ඔබ අප කවුරුත් හොදින් දන්නා සංගා හෙවත් කුමාර් සංගක්කාරයි.

සෙමින් ගොඩ නැගෙමින් තිබූ ඉනිමක් අර්ධ ශතකයකට පසු දර්ශනීය මැදපෙළ ප්‍රහාරයක් බවට පත්වන්නේ කිසිවෙකු සිතන්නටත් පෙරය..
දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකාගාරය මේ අමතක නොවන ප්‍රහාරය දෙස බලා හිඳින්නේ එකදු මොහොතක් හෝ තම දෑසට මඟ නොහැරෙන්නට වග බලාගෙනය.
.
වර්ශ 2013 ජූලි මාසයේ දකුණු අප්‍රිකානු පිළ ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස හා එක්දින තරඟාවලියක් සඳහා දින නියම කොට තිබුණි.

හා හා පුරා කියා පටන් ගත් එක්දින තරඟාවලියේ පළමු තරඟයට දෙපිළ රැස්වන්නේ ආර්.ප්‍රේමදාස පිටියටය..

කාසියේ වාසිය දිනූ අප්‍රිකානුවන් පළමුව පන්දු යවන්නට තෝරාගනිද්දි ශ්‍රී ලංකාව වෙනුවෙන් තරංග හා ඩිල්ෂාන් ඉනිම ඇරඹූහ..

පන්දුවාර 4ක් යනවිට ඩිල්ෂාන් නැවත හරවා යැවෙන්නේ ක්‍රිස් මොරිස් විසිනි..
තුන්වන කඩුල්ලට පිටියට එන්නේ තම 350 වෙනි තරඟයට ක්‍රීඩා කරන සංගක්කාරය..

ලකුණු 23-1 ලෙස පැවති ලකුණු පුවරුව සංගා සමඟ එක්ව 93ක් දක්වා ඔසවන තරංග ලකුණු 43 කට දැවී යන්නේ සංගා යන්තමින් ලකුණු 30 සීමාවට ලඟා වද්දීමය..

මහේල සමඟ එක්වූ සංගා තවත් සබඳතාවයක් එක්කරමින් සෙමින් තම 78 වන අර්ධ ශතකය ලබන්නේ එයට පන්දු 66ක් වැයකරමිනි..

මහේල ලකුණු 42 කට දැවී යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 167 දීය..ඒ වන විටත් පන්දුවාර 34ක් අවසන්ව තිබුණි..

38 වන පන්දුවාරයේ මොරිස් යැවූ පළමු පන්දුව හතරේ සීමාව සොයා යන අතර දෙවන පන්දුව හතරේ සීමාවටත් උඩින් යන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ට එක්දින ඉනිමකට අඩිතාලමක් තබමිනි..

“Pulled away and that picks up a wonderful hundred for Kumar Sangakkara..This is some control of batting..Look at that sudden acceleration”

පන්දු 102 කින් සංගා තම ශතකය සම්පූර්ණ කරන්නේ තවත් පන්දුවාර 9ක් ඉනිමේ ඉතිරිව තිබියදීය..

දඟ පන්දුවට නම් ගැලවිල්ලක් තිබුණේම නැත..

46 වන පන්දුවාරයේ දෙවන පන්දුවේ දී එතෙක් හොඳින් ක්‍රීඩා කළ සංගා එක්වරම කඩුල්ලද විවෘත කර අමුතු පහරකට තැත් කරද්දි පන්දුව කඩුල්ලේ වැදුණි..

අප්‍රිකානුවන් කඩුල්ල සමරන්නට එකතු වෙද්දි විනිසුරු දෙසට හැරුණ් සංගා පිටියේ පන්දු රකින්නන් නිසි⁣ලෙස ස්ථානගත වී නොතිබුණු බව පෙන්වා දෙන්නේ පෙර පන්දුව නිපන්දුවක් බවට හරවාගනිමිනි….

“My godnees…He knew it..What a tricky move..”

ලකුණු 100 සිට 150 සීමාවට යන්නට සංගාට වැය වන්නේ පන්දු 25 කුත් අප්‍රිකානු පන්දුයවන්⁣නන්ගේ කඳුලුත් පමණි..

“This is nightmare for SA bowlers..Nothing good for them”

පන්දුවාර 48 දී මුළු ලකුණු පුවරුව ලකුණු 303ක් වෙද්දී සංගා ලකුණු 169කට දැවී යන්නේ ඒ සඳහා පන්දු 137ක් වැයකරමින්ය…

” Wonderful..just wonderful..”

එකී ලකුණු 169ට හතරේ පහර 18ක් හා හයේ පහර 6ක් ඇතුළත්ව තිබුණි..
ඒ ඉනිම නම් බැලූ අයෙකුට අමතක වන්නට විදිහක් නැත !

පන්දුවාර 50දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 320කි..

පළමු පන්දුවෙන්ම ⁣ඉන්ග්‍රම් දවාගෙන මාලිංග ගත් ආරම්භය නතර වූයේ දකුණු අප්‍රිකානුවන් ලකුණු 140කට දවාගත් පසුවය..
තරඟයේ වීරයා අමුතුවෙන් කියන්නට ඕනෑ නැත..

සංගා ඉනිමක් අරඹන්නේ සෙමින්ය..කල් යත්ම එය ටිකෙන් ටික වේගවත් මෙන්ම විශාලද වෙයි..

සංගාගේ ස්ටයිල් එක ඒකය..
ඔහුගේ ක්‍රිකට් දිවියද එසේමය..

වරෙක කණ්ඩායමේ සිටින්නට හේතුවක් සොයාගත නොහැකි මට්ටමක සිටි සංගා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන යන්නේ තමා වයසට නොයන්නෙකු බව පිට පිට ලද ලෝක කුසලාන ශතක හතරකින් ලෝකයාට සාධනය කර පෙන්වමිනි.

අදටත් ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය ඔහුය..
බ්‍රිතාන්‍යයෙකු නොවූ එකම MCC සභාපති ඔහුය..
කෙටියෙන්ම කියතොත් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නියම මහත්වරුන්ගෙන් ඔහු එක් අයෙකි..
නමට ඉදිරියෙන් ඔහුට සර් කෑල්ලක් අවශ්‍යමය..
කුමාර චෝක්ෂනාද සංගක්කාර

එකී නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ නොමැකෙනා පරිච්ඡේදයක් වී හමාරය..

HAPPY BIRTHDAY KUMAR SANGAKKARA.!

උපුටා ගත්තේ Six Cricket වෙබි අඩවියෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles