Saturday, April 20, 2024

බැසිල් නිසා දුම්රිය සේවය අනාථයි!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයාව සිටියදී ගන්නා ලද තීරණයක් පසුව වෙනස් වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දැඩි අර්බුදයක් ඇතිව තිබෙනවා.

විශාල සේවක පිරිසක් ඒකවර විශ්‍රාම යාම නිසා මේ තත්ත්වය ඇතිවී ඇතිබවයි වාර්තා වෙන්නේ. ඇතැම් දුම්රිය ස්ථාන වල ස්ථානාධිපති, සංඥාකරු වැනි තනතුරු හිස්වී ඇති බවත් නියාමකවරුන් සහ රියදුරන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාම නිසා දුම්රිය ධාවනය කිරීමට නොහැකි වී තිබෙනවා.

කාර්යමණ්ඩලයේ 500කට ආසන්න පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 44ක් අවලංගු වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ විශ්‍රාම ගිය කාර්ය මණ්ඩලයේ බහුතරයක් දුම්රිය ධාවනයට ඍජුවම සම්බන්ධ පිරිස වීමයි.

ඒ අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 12ක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 23ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 7ක් සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 2ක් වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ.

කොන්ත්‍රාත් පදනම මත අත්‍යාවශ්‍ය සේවකයන් රඳවා ගැනීමට දුම්රිය පාලන අධිකාරිය වෙත වාචිකව උපදෙස් ලැබී ඇති බව සඳහන් කළද මීට වසර 2ක පමණ කාලයක සිට කොන්ත්‍රාත් පදනම මත සේවය කළ පිරිස් සඳහා මෙතෙක් ගෙවීම් සිදුකර නැහැ. ඒ අනුව කොන්ත්‍රාත් පදනම මත සේවය කිරීමට අනුමැතිය ලැබෙන තෙක් විශ්‍රාම ගිය කිසිදු සේවකයෙකු සේවයට වාර්තා නොකරනු ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ.

අදාළ අනුමැතිය කඩිනමින් නොලැබුණහොත් ලබන සතියේදී දුම්රිය ධාවනයට වැඩි බලපෑම් එල්ල වනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාම ගිය සේවකයින් බඳවා ගැනීම සඳහා රාජ්‍යසේවා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇති බවයි. එහෙත් ඊට මෙතෙක් අනුමැතිය හිමිව නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙය එක්වර සිදුවූවක් නොවන අතර මීට පිළියම් යෙදීමට දුම්රිය දෙපාර්තමේන්තු පාලනාධිකාරිය කටයුතු නොකිරීම ඔවුන්ගේ අකාර්යක්ෂමතාව පෙන්වන ප්‍රබල සාධකයක් බව ජනතාව පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles