Wednesday, April 24, 2024

මංගල උත්සව සම්බන්ධයෙන් අද සිට ක්‍රියාත්මක නවතම තීරණය

කොරෝනා වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සදහා පනවා තිබූ සීමා අද සිට තවදුරටත් ලිහිල් කෙරෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත්තේ, එළිමහන් ක්‍රියාකාරකම් දිරිගැන්වීමට පියවර ගනිමින්.

ඒ අනුව විවාහ මංගල උත්සව ශාලා තුළ අමුත්තන් 100 දෙනෙකුට සහභාගි වීමට අවසර හිමි වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ. එළිමහන් මංගල උත්සව අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, විවාහ මංගල උත්සවවල දී මත්පැන් භාවිත කිරීමට තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ. එසේම ආපනශාලා තුළ එකවර උපරිම වශයෙන් පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා. එළිමහන් උත්සව සදහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව ද පුද්ගලයින් 100ක් දක්වා ඉහළ නැංවිය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.නිළ රැස්වීම් සහ උත්සව සදහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට වන අතර, එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කර තිබෙනවා. මීට අමතරව රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවා තිබූ සංචරණ සීමා ද අද සිට ඉවත් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

ඊයේ තවත් ආසාදිතයින් 561ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 506,645ක් දක්වා ඉහළ ගියා. ඊයේ අලුතින් වාර්තා වූ මරණ 29ත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,640ක් ලෙසටයි.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් අතරින් 90%කට දෙවන මාත්‍රාව ලබා දී අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළා.

එම මාධ්‍ය හමුවට, ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක ද එක්ව සිටි අතර ඔහු සදහන් කළේ, මේ වනවිට එම රෝහලට රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles