Thursday, March 28, 2024

මළ-නොමළ ආත්ම සමඟ Halloween සමරමු!

ඔක්තෝම්බර් 31 රාත්‍රිය කියන්නෙ හොල්මන් අවතාරවලටම වෙන්වුන රැයක්. ඉතින් මේ භූත රාත්‍රියට Halloween වගේ ලස්සන නමකුත් දාල තියෙනවා.මුලින්ම කියන්න ඕනි මේ භූත රෑ ලංකාව ඉන්දියාව වගේ සමහරක් ආසියාතික රටවල් කොහෙත්ම සමරන්නෙ නෑ. මේ භූත සැමරීම හුඟක්ම කරන්නෙ බටහිර රටවල්.

ලංකාවෙ අපිට මේ භූත උත්සවය ආගන්තුක උනත් බටහිරට නම් මේකෙ කිසිම අමුත්තක් නෑ.ඇත්තටම මේ සැමරීම වසර දහස් ගානක් පැරණි එකක්. ඉස්සරම ඒ කියන්නෙ වසර 2200කට විතර කලින් බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා අයර්ලන්තය කියන රටවල ජීවත් උනා සෙල්ටික් කියල ජන කොට්ඨාශයක්. තාමත් ඒ මිනිසුන්ගෙන් පැවතෙන අය ඉන්නව හොදේ. ඒත් මේ කතා කරන්නෙ ඉස්සරම හිටපු සෙල්ටික්ලා ගැන. සෙල්ටික්ලා ඉස්සර ජීවත් උනේ බාර්ලි, මෝල්ට්, කෝන් හා සෝයා වැනි බෝග වගා කරගෙන. ඔවුන්ගේ අස්වනු නෙලන කාලය ඔක්තෝම්බර් කාලයයි. නොවැම්බර් මාසය වනවිට සියලූම ගස්වල කොළ හැලෙන්න පටන් ගන්නවා.දෙසැම්බර් මැද හරිය වෙනකොට හිම කැටත් ටිකින් ටික හැද හැලෙන්න පටන් අරන් තවත් මාස තුනකට වැඩි කාලයක් පොළොව සම්පූර්ණයෙන්ම වගාවට නුසුදුසු නිසරු බිමක් කරනවා.ඉතින් මං කියන්න ඕනි නෑනෙ ඔය කාලෙට පොළොවෙ වගේම වාතාශ්‍රයෙත් තද සීතලක් තමයි තියෙන්නෙ. සෙල්ටික් ජාතිකයන්ගෙ විශ්වාසයක් තිබ්බා ඔය කාලෙට ඔවුන්ගේ මියගිය මුතුන් මිත්තන්ගේ ආත්ම සීතල පොළොව වෙත පැමිණෙනවා කියලා. මේ ගැන බටහිර සාහිත්‍යයේ පවා රසවත් කතන්දර විශාල ප්‍රමාණයක් තියෙනවා. සීතල මායාකාරියගේ කතාව ඉන් එකක්.ඉතින් කොහොමහරි ඔක්තෝම්බර් මාසෙ 31 එහෙමත් නැත්තම් ඔවුන්ගේ අස්වැන්න නෙලීමේ අවසාන දවස තියෙනවනෙ. අන්න එදාට හැලොවින් හා සමානම උත්සවයක් සමරල තියෙනවා.

ඒ උත්සවේදී කරන්නේ කරන්නෙ මඳ සීතල කැපිල යන්නත් එක්ක ගිනිමැල එහෙම දල්වලා ඒ වටා හිඳගෙන මියගිය ආත්මවලට සැනසීම ප්‍රාර්ථනා කරන එක.ඒ වගේම අයර්ලන්තයේ විසූ ගේල් ජාතිකයොත් මේ උත්සවයට තවත් විදිහකින් සම්බන්ධ උනා. ඔවුන්ගේ විශ්වාසය උනේ මියගිය ආත්ම පොළොවට පැමිණෙනවා පමණක්ම නොව ඔවුන්ගේ බෝග වගාවන්වලත් හානි පමුණුවන බවයි. ඒ නිසා 31 රාත්‍රියේදී ඔවුන් අස්වනු නෙලා අවසන් කරන භූමිය තුළම රාත්‍රී කෑම මේසයක් පිළියෙල කර ඒ ආහාරපාන සියල්ල මියගිය ආත්ම වෙනුවෙන් කැපකලා.පසුකාලීනව ඔවුන් ඒ උත්සවයට විවිධ මුහුණුවර ලබාදී තියෙනවා. අදටත් ඒ දේවල් එහෙමම සිදු වනවා. කාලයක් ඔවුන් මියගිය ආත්ම රවටාලීම සදහා සුදු කබායවල් වලින් සැරසී කළු වර්ණයෙන් මුහුණු පාට කරගෙන තියෙනවා. ඒ වගේම නරක ආත්ම එලවීම සදහා නොයෙක් ක්‍රමවේද අනුගමනය කර තියෙනවා. ඔහොම වසර 1000ක් විතර ගෙවීගෙන යද්දී ඔය ප්‍රදේශයට ක්‍රිස්තියානි ආගම පැතිරෙන්නට වුණා.


භූත රාත්‍රී උත්සවය කෙමෙන් කෙමෙන් වෙනස් වෙන්න පටන් ගත්තෙ ඔය කාලෙදී. කොටින්ම කියනවනම් තාම මේ උත්සවේට හරියට නමක්වත් නෑ. ඒත් ක්‍රිස්තියානි ආගම පැතිරීමත් සමඟම පල්ලියෙන් එක් දිනයක් ආත්මයන්ගේ දිනය ලෙස නම් කලා. ඒ නොවැම්බර් දෙවෙනිදා. ඒකට දාපු නම තමයි All Hallows Day. ඊට කලින් දවසෙ රෑට කිව්වෙ Hallow eve කියලා. පසුකාලීනව ඒක තමයි Halloween උනේ.තවත් සියවස් දෙකක් විතර ගතවෙද්දී මිනිසුන් ධනවත් දුප්පත් විදිහට බෙදිලා මිනිස්සු අතර පංති භේද ඇති වෙන්න ගත්තා. ඉස්සර හැමෝම එකට කමතට බැහැල සමරපු උත්සවය පහුවෙන් පහු ගෙවල් ඇතුළෙම සමරන්න පටන් ගත්තා. දුප්පත් මිනිසුන් ධනවතුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ මියගිය ඥාතීන් වෙනුවෙන් යාඥා කොට යම් මුදලක් හෝ ආහාර ලබාගැනීමට පෙළඹී තියෙනවා.එමෙන්ම දුප්පත් දෙමාපියන්ගේ දරුවො විවිධ රූප මවාගෙන (ඉන්ද්‍රජාලිකයන්, මායාකාරියන්, යක්දෙස්සියන්, සුරංගනාවියන් හා මාරදූතයන් වැනි) ගෙන් ගෙට යාම සම්ප්‍රදායක්ව පැවතුණා. පුංචි දරුවන්ට ඒ වෙනුවෙන් ලැබුනෙ රසකැවිලි. මේස මත ඇපල් තිබිය යුතුය. බොහෝ රටවල, පළතුරු සිරප්, ඇපල් කැරමල් සහ ටොෆී තුළ සූදානම් වේ. උතුරු අමෙරිකාවේ ඔවුන් වට්ටක්කා (කැන්ඩි පැම්කින්) සහ බඩ ඉරිඟු (කැන්ඩි කෝන්) වැනි වට්ටක්කා අනුභව කරති. සංයුතිය, බඩ ඉරිඟු සහ වට්ටක්කා හැරුණු විට සංයුතිය, සීනි, කෘතිම වර්ණ, බන්ධක, මී පැණි, මාෂ්මෙලෝස්, අඩු මේද ක්රීම් අඩංගු වේ.



මේ සංකල්පය අදටත් Give Trick Get Treat නමින් හඳුන්වනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ මේ උත්සවය සම්පූර්ණයෙන්ම විනෝද උත්සවයක් බවට පරිවර්තනය උනා කිව්වොත් මා නිවැරදියි. ඒකට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුව යුද්ධය නිසා පියවරුන් අහිමි වූ දුවාදරුවන්ට සතුටක් ලබාදීමට මෙය යොදාගැනීමයි. වට්ටක්කා ගෙඩිය හැලෝවීන් උත්සවයට එකතු උනේ ඇමෙරිකාවට එය ප්‍රසාරණය වීමත් සමඟිනුයි. ඊට හේතු වූයෙ වෙස් මුහුණු සෑදීමට අයර්ලන්තයේ ටර්නිප් කොළ භාවිතා කළත් ඇමෙරිකාවේ ටර්නිප් ගස් නොවැවෙන බැවිනි. ටර්නිප් වලින් හදන භයානක රූප වට්ටක්කා ගෙඩියෙන් සෑදීමට හැකි වීම නිසාත් වට්ටක්කා නිෂ්පාදනය සුලබ නිසාත් ඇමෙරිකානුවන්ට ඒක අපූරු විකල්පයක් උනා.මෙම උත්සවයේ විනෝදය තවත් වැඩිවන්නේ භය උපදවන සුළු සංගීතයත් මීට සම්මාදම් කරගැනීම තුළිනි. මිනිසුන්ව භය භීරාන්ත කරවන සංගීත ඛණ්ඩයන් වාදනය කරමින් අසල්වැසි ගෙවල්වලට පැන වැදීම අතිශය විනෝදජනක සංසිද්ධියකි. නමුත් මේ සංගීතය හා විහිළු තහළු වලින් කිසිවෙක් තැතිගැන්වෙන අවස්ථාද නැතුවාම නොවේ.

ඉතින් අද රාත්‍රිය ඔබගේ කාමරයටත් හොල්මන් අවතාර වගේ අය පිරෙන භූත රාත්‍රියක්ම වේවා!

– චතුර රුවන් වීරක්කොඩි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles