Thursday, April 18, 2024

මුදල් භාවිත නොවන ආර්ථිකයක් හදනවා

ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේ දී මෙරට ජනතාවට ලැබෙනවා යයි තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

LANKAQR සේවාව රට පුරා ජනගත කිරීමේ සමාරම්භක මොහොතට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව යි. මුදල් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු ඩිජිටල් තාක්ෂණික QR කේත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට LANKAQR මඟින් හැකියාව ලැබේ.

මෙහිදී අදහස් පල කළ අමාත්‍යවරයා

ලෝකයේ සෑම රටක්ම නවීකරණය වේ. එමෙන්ම ගනුදෙනු කිරීම පිළිබඳ නව ක්‍රමවේද අනුගමනය කෙරේ. රටක් වශයෙන් ශ්‍රී ලංකාවද ලෝකය සමඟ ගනුදෙනු කිරීම තුළ නවීකරණය විය යුතු කාලය එළඹ තිබේ.

මේ රටේ බොහෝ පිරිසක් තාක්ෂණය සමඟ බද්ධ වී සිටින බව අනුමාන කළ හැකියි. නමුත් බද්ධ වූ තාක්ෂණය සමඟ තමන්ගේ එදිනෙදා ජීවිතය කෙතරම් ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් ලෙස එය භාවිත කරනවාද යන කරුණ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

ඩිජිටල්කරණය හරහා ලෝකයේ නවීන ගනුදෙනු ක්‍රමවේදවලට යා යුත්තේ කෙසේද පිළිබඳ ප්‍රතිපත්ති රාමුවක් සකස්කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමාව ද දැනුවත් කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙහිදී යෝජනා වූයේ පළමුව මෙය ජනගත කිරීම සුදුසු බවයි. ඩිජිටල් තාක්ෂණය හරහා ජනතාව එදිනෙදා කටයුතු කිරීම සිදුවන තැනට මෙම තාක්ෂණය ජනගත කිරීම කළ යුතුය යන්නෙන් අමාත්‍යවරයා අදහස් දැක්වීය.

ලබන වසරේ පළමු කාර්තුව වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට සූදානම්. ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේ දී මෙරට ජනතාවට ලැබෙනවා.

මේ මොනවා කළත් මේ රටේ ජනතාව මෙම තාක්ෂණය භාවිත නොකරන්නේ නම් ඵලදායි නොවේ. එය භාවිත කිරීමට නම් මූලික අදියරේ සිට ආරම්භ කළ යුතුය. ඩිජිටල් මුදල් හෝ ජාතික හැඳුනුම්පත හෝ මේ සියලු දෙයට යාමට පෙර මුදල් භාවිත නොවන ආර්ථිකයකට යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගත යුතුයි.

එදිනෙදා ජන ජීවිතය තුළ නිරන්තර ගනුදෙනු කරන පුද්ගලයන් තාක්ෂණය සමඟ සම්බන්ධ කර ගත හැකි නම් ඉන් ඉදිරියට අනෙකුත් සියලුම ඩිජිටල්කරණය වැඩසටහන් ප්‍රායෝගිකව ගම්මානවල දියුණු කර ගැනීමට හැකිය.

අද ආරම්භ කළ LANKAQR ඔස්සේ වාහන දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයට ඉතා ඉක්මනින් යාමට අපේක්ෂා කරනවා. ඒ ඔස්සේ ජනතාවට පහසුකම් රැසක් අත් විදිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ D. V. චානක යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles