Wednesday, April 24, 2024

මෙහෙම ගියොත් ඩොලරය 450 ට යන එක වළක්වන්න බෑ

නිසි පරිදි ආර්ථිකය කළමනාකරණය නොකිරීම හේතුවෙන් රුපියල බාල්දුවීම නිසා ඇමෙරිකානු ඩොලරය රුපියල් 450 ට ආසන්නවීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසනවා.

ආර්ථික අර්බුදයට හේතුව හා මෙම ගැටලුවේ දිගපළල පිළිබඳව ආණ්ඩුව විසින් තවමත් නිසි පරිදි අවබෝධ කර නොගෙන ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“අපි පුරෝකථනය කළේ ඩොලරය දෙසැම්බර් මාසයේදී පමණ 300ට යාවි කියලා වුණත් දෙසතියකින් එම තත්ත්වය උදා වෙලා. මේ යන විදිහට ගියහොත් මේ අවුරුද්ද අග වනවිට ඩොලරය රුපියල් 450න් මෙපිට නවතින එකක් නැති වේවි.

අපි ආහාර ඇතුළු බොහෝ දේ ආනයනය කරන රටක්. රජය ආනයන සීමා කර තිබුණ ද දළ වශයෙන් ඩොලර් බිලියන 22ක ආනයන සිදු කරනවා. එහෙම බලද්දී ඩොලරය 230 සිට 300 දක්වා වැඩි  වීමෙන් අමතර රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වියදම් කරන්න වෙලා තියෙනවා. ඒ මුදල ගෙවන්නෙත් පාරිභෝගිකයා. මේ වනවිටත් අපේ උද්ධමනය ආසියාවේ වැඩි ම උද්ධමනය ලෙසින් වාර්තාගත වී සියයට 17ක් ඉක්මවමින් සිටිනවා.

සර්ව පාක්ෂික සමුළුවේදී ත් අපි දැක්කා මහ බැංකු අධිපතිවරයා නිසි වැඩපිළිවෙළක් වෙනුවට හිටපු රජයන්ට, කොවිඩ් එකට, යුක්‍රේනයට බෝලෙ පාස් කරමින් ඉන්නවා. කොවිඩ් නිසා මෙන් ම රජය ගත් යම් යම් වැරැදි තීරණ නිසා මූල්‍ය විනය පිරිහුණා විතරක් නෙවෙයි අය-වැයේ රාජ්‍ය ආදායම සියයට 25කින් අඩු කරගත්තා.

අපි මේක දැකලා මුලදි ම කිව්වා වියදම් පැත්ත අවම කළයුතු බව. ඒත් ඒ පිළිබඳව රජය නෑසූකන් ඇතිව පාරවල් හදමින් දේශපාලනික ප්‍රචාරණ සහිත විවිධ සංවර්ධන වැඩ කළා. ආදායම් වෙනුවට වියදම් වැඩි වුණා ම අපිට ණය ගන්න සිදු වුණා. ඒත් මේ වනවිට ණය නොදෙන තත්ත්වයට ඇවිල්ලා. ඒකට හරියන්න රජය ලේසියෙන් ම කළේ දිගින් දිගට ම සල්ලි අච්චු ගහන එකයි. ඒ හේතුවෙන් ඩොලරයේ වටිනාකම වැඩි වෙනවා. ආණ්ඩුව එනකොට රුපියල් 180ට තිබුණ ඩොලරය ආණ්ඩුව පාලනය කරන්න හැදුවා. අපි කිව්වා ඩොලරය නිදහසේ තියන්න කියලා. වසර එක හමාරකට මත්තෙන් කියපු ඒ කාරණයට ඇහුම්කන් දුන්නා නම් අද ත් ඩොරලරය 230න් නවත්වා ගැනීමට අවකාශ තිබුණා. 

අද වනවිට බැංකු පද්ධතිය කඩා වැටීමට ලක්වෙමින් තියෙනවා. අපේ මේ බැංකු පද්ධතියේ එක බැංකුවක් කඩා වැටුණොත් සමස්ත බැංකු පද්ධතිය ම කඩා වැටිලා එය අපේ රටේ ආර්ථිකයේ අවසානය වෙනවා. අපි දන්නවා බැංකුවකින් ණයක් ගත්ත ම පොලිය සියයට 7යි. උද්ධමනය සියයට 17ක් කියන්නේ අපි සෘණ පොලියක් ලබන්නේ. එහෙම යනකොට ජනතාව බැංකුවලින් මුදල් ඉවත් කරගත්තොත් ආර්ථිකය දුවන්න ක්‍රමයක් නැති වෙනවා.

ජනතාව නීතිය අතට ගන්න ඉතා ම ආසන්නයි. අද පොලිසියට පහරදෙන නිසා පිරවුම්හල්වලට හමුදාව යොදවලා. රජය ඩොලර් හිඟය නිසා අහිතකර ගිවිසුම්වලට යන්න, වත්කම් විදෙස් රටවලට දෙන්න මාන බලාවි. ඒත් ජනතාව පාරට බැස්සොත් එය පාලනය කරන්න රජයට නොහැකි වේවි. රජය ගැටලු මත ගැටලු නිර්මාණය කරමින් සිටිනවා. හංගන්න උත්සාහ කරනවා. 

භාණ්ඩ මිල වැඩි වුණා ම ඒ පිළිබඳ ජනතාවගේ හඬ මතු කරන්න හෝ ඉඩ නොතියා ඒ භාණ්ඩ හංගනවා. එවිට හඬ නගනවා වෙනුවට ජනතාව පෝලිම්වල ගිහින් හෝ වැඩි මිලට ඒ භාණ්ඩය හොයන එකයි කරන්නේ. මිනිස්සුන්ට ගෑස් වැඩි වුණ බව අමතකයි. සිහියේ තියෙන්නේ කොහෙන් හෝ ගෑස් ටැංකියක් පුරවා ගැනීම.

ඒ නිසා රජය ගතයුතු තැන්වලදී නිවැරදි තීරණ ගත්තේ නැති නිසා මෙවන් තත්ත්වයක් නිර්මාණය වී තියෙනවා. දැන්වත් වගකීමෙන් යුතුව ආර්ථිකය පිළිබඳ ගැඹුරින් සිතා තීන්දු තීරණ නොගතහොත් පෝලිම්වල මියැදෙන ජනතාව වෙනුවෙන් කවදා හෝ වගකියන්න වේවි. එම නිසා රජය වගකීමෙන් මේ පිළිබඳව සොයා නොබැලුවහොත් ලිබියාවේ, ජෝර්දානයේ වගේ ම බහරේන්වල පැවති තත්ත්වය ලංකාවේ දැකගන්නට හැකි වේවි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles