Thursday, April 25, 2024

විශ්වාසභංගය ගේන්න ටෙලිෆෝනය රැස්වෙද්දී ආණ්ඩුවෙන් මන්ත්‍රී වෙන්දේසිය ඇරඹේ….!

ආණ්ඩුවක් පිහිටුවීම පිණිස රජය හා විපක්ෂය අතර සාකච්ඡා මෙන්ම කුමන්ත්‍රණ පැතිරෙන මොහොතක, ආණ්ඩු පක්ෂයේ කුප්‍රකට මැති ඇමතිවරුන් විසින් මන්ත්‍රීවරුන් මුදලට බිලී බා ගැනීමේ ප්‍රයත්නයක නිරත වන බව වාර්තා වේ. කෙසේ හෝ මේ සතිය තුළ නව රජයක් පිහිටුවිය යුතු අතර පවතින තත්ත්වය හා විරෝධය උඩ තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමේ හැකියාවක් නැති බව දැනෙන්නට පටන්ගෙන ඇත.

වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අද (10) රැස්වීමට නියමිතය.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ, එම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ සෙසු පක්ෂවල සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම්වල සහය ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවය.

මේ අතර ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා සහය ලබා දීමට සිය පක්ෂය තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී , ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරිපත් කිරිමට නියමිත දෝෂාභියෝගය කෙටුම්පත් කිරිම මේ වනවිට ආරම්භ කර ඇති බවය.

මේ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 10 කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධින කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්විමට නියමිතව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles