Thursday, March 28, 2024

වෙසක් පොහොය අදයි. අද විදුලිය නොකැපේ.

බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා. වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලට අමතරව තවත් වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබෙන නිසා මෙම ලිපිය ලියවෙන්නේ වෙසක් පොහොය දිනයේ වැදගත්කම ගැන පැහැදිලි කිරීමට යි.

වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වුණා වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි. එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා. ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථ කිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා. එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා. එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භවයක ධනවත් පවුලක සුමේධ නම් තරුණයෙකු ලෙසින් උප්පත්තිය ලැබුවා. නමුත් සුමේධ තරුණ වියට එළඹෙන විටම ඔහුගේ දෙමාපියන් කළුරිය කළා. ඉන් පසුව සුමේධ තරුණයාගේ දෙමාපියන්ගේ මුදල් පාලනය කළ තැනැත්තා මේ ඔබගේ පියාගේ, මවගේ, සහ සීයාගේ ධනය ලෙස පවසා විශාල ධන සම්භාරයක් ඔහුට ලබාදුන්නා. සිය දෙමාපියන් සහ සීයා මියයන විට එකදු රන් කහවණුවක්වත් රැගෙන ගියේ නැහැ. එම නිසාම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් සුමේධ තරුණයා සියළු ධනය ජනතාවට බෙදා දී තාපසයෙකු වනගත වී භාවනා කළා. ඉන් පසුව සෘධි බල ලබාගත් සුමේධ තාපසයා දිනක් සෘධියෙන් ගමන් කරන විට ගමක පිරිසක් පාරක් සකසමින් සිටියා. එම අවස්ථාවේ දී සුමේධ තාපසයාට දැනගැනීමට ලැබුණේ දීපංකර බුදුන් වහන්සේ වැඩීමට නියමිත මඟ එලෙස සකස් කරන බව යි. එදා සුමේධ තාපසයාත් මාර්ගයේ කොටසක් සකස් කිරීමට දෙන මෙන් ඉල්ලා සිටීමෙන් පසුව ඔහුට මඩ වලවල් පිරි දුෂ්කර කොටසක් ලැබුණා. සුමේධ තාපසයා වෙහෙස මහන්සි වී මාර්ගය පිළියෙල කළත් දීපංකර බුදුන් වහන්සේ වඩින අවස්ථාව වන විට එක මඩ වලක් පුරවා තිබුණේ නැහැ. එම අවස්ථාවේ දී සිය සිරුරෙන් මඩ වල වසාගත් තවුසා ඔහුගේ සිරුර උඩින් වැඩමකරන ලෙස බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එදා සුමේධ තවුසා එලෙස වීර්යය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ වෙසක් පොහොය දිනයක දී යි.

සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම සිද්ධාර්ථ කුමාරයා සතර පෙරනිමිති දැකීමෙන් පසුව ලෝකවාසීන් දුකින් මුදාගැනීම සඳහා ගිහිගෙය හැර ගියා. සිද්ධාර්ථ කුමාරයා එලෙස දුටු සතර පෙරනිමිතිවලින් ව්‍යාධි රූපය දුටුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දී යි. ඒ අනුව වෙසක් පොහොය දිනයක සිදුවුණු වැදගත් සිදුවීම් අතරට එයත් ඇතුළත් වනවා.

යමා මහා පෙළහර පෑම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී දස මසකින් සිය උපන් ගම වුණු කිඹුල්වත් පුරයට වැඩම කළා. එම ගමනේ දී බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් තුළ තිබුණු මාන්නය දුරු කරලීම සඳහා යමා මහා පෙළහර පානු ලැබුවේත් වෙසක් පොහොය දිනයක දී යි. ආනන්ද හිමියන් පිරිනිවන් පෑම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා ලෙසින් කටයුතු කළේ ආනන්ද තෙරුන් වහන්සේ යි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රෝහීණී ගඟ මධ්‍යයේ වාසය කළ ආනන්ද මහා රහතන් වහන්සේ වසර 120ක් ආයු වළදා පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දිනයක දී යි.

බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී වර්ෂ 8කට පසුව මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළේ වෙසක් පොහොය දිනයක දී යි. එදිනම සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කර එහි දී දිවා විහරණය කළා.

විජය කුමරුගේ ලංකාගමනය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වුණු වෙසක් පොහොය දිනයේම විජය කුමරු ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට පැමිණියා. එලෙස පැමිණි විජය රජතුමා පසුව කුවේණියගේ ආධාරය ද ඇතිව ලංකාවේ පළමු රජතුමා ලෙසින් අභිෂේක ලැබුවා.

දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම දේවානම්පියතිස්ස රජුගේ හොඳම මිතුරෙකු වුණු ධර්මාශෝක රජතුමා විසින් එවන ලද සිංහාසනය, කඩුව, ඔටුන්න, හක්ගෙඩිය, සහ මිරිවැඩි සඟල යන පංච කකුධ භාණ්ඩ සහිතව දේවානම්පියතිස්ස රජතුමා දෙවන වරටත් රාජාභිෂේකය ලැබුවේ වෙසක් පොහොය දිනයක බව ලංකා ඉතිහාසයේ සඳහන් වනවා.

වෙසක් පොහොය දිනයේ සිදුවුණු තවත් විශේෂ සිදුවීම් ඉහත සිදුවීම්වලට අමතරව රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි. ඊට අමතරව අතීතයේ දී සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය කර තිබෙන්නේ ද වෙසක් පොහොය දිනයක යි. ඉහත සඳහන් කරන ලද සියළුම සිදුවීම් වෙසක් පොහොය දිනවල සිදුවී ඇති නිසා ලොව පුරා සිටින බෞද්ධ ජනතාවට වඩාත්ම වැදගත් පොහොය දිනය වන්නේ වෙසක් පොහොය දිනය යි. එම නිසාම බෞද්ධ ජනතාව එම පොහොය දිනයේ වැදගත්කම මනාව වටහාගෙන සැදැහැ සිතින් යුතුව වතාවත් කළ වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles