Saturday, April 20, 2024

සංවර්ධන ව්‍යාපෘති නිසා පාරවල් වලට සිදුවන හානි අවම කර ගන්න රජය ගත් තීරණය

ජල, විදුලි, ටෙලිකොම් වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිම කරන ලද මාර්ගයන්ට වන හානි අවම කරගැනීමට මෙතෙක් පැවති ක්‍රමවේදයට බාහිරව මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ ආයතන සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගනිමින් සැලසුම් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අනිකුත් ආයතන ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවලදී යොදාගත හැකි ආකාරයට මාර්ග දෙපස මීටර් දෙක බැගින් වපසරියක් වෙන් කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව සියලුම මාර්ග නියමිත කාලයට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව එම සාකච්ඡාවට එක්වූ මහාමාර්ග අමාත්‍යාංශය පැවසීය.

මධ්‍යම අධීවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 41 කින් සමන්විත කොටස නුදුරේදීම ජනතා අයිතියට පත්වන බවත්, කොවිඩ් වසංගතය හමුවේ දැඩි කැපවීමකින් උදාකරගත් එම අවස්ථාව විශාල ජයග්‍රහණයක් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

වසර 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීමට හැකි වන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර කොළඹ නගරයේ මාර්ග තදබදයට හේතු වන ප්‍රධාන මංසන්ධි සියල්ල පුළුල් කර, නවීන තාක්ෂණයෙන් යුත් ආලෝක සංඥා පද්ධති සවි කිරීමට සැලසුම් කර තිබේ.

භෞතික අවහිරතා ඇති ස්ථානවල ගුවන් පාලම් වැනි විකල්ප ක්‍රම භාවිතා කරමින් මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට සැලසුම් කර ඇති බවත් ප්‍රධාන නගර ආශ්‍රිතව විකල්ප මාර්ග ඉදිකිරීමට ද යෝජනා කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී හලාවත නගරයට සහ මාර්ග කොටසට වැසි ජලයෙන් වන බලපෑම වළක්වා ගැනීමට ද සැලසුම් සකස් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු” යන මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී මෙම කරුණු අනාවරණය විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles