Wednesday, April 24, 2024

සජබේ උද්ඝෝෂණයට ගිය මන්ත්‍රීවරුන්ට පී.සී.ආර් කරන්න – ඇමති ප්‍රසන්නගෙන් ඉල්ලීමක්

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට සහභාගීවූ සියලුම මන්ත්‍රීවරුන් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බව සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර  කියවීමේ විවාදයේදී  රීති ප්‍රශ්නයක් මතුකරමිනි.

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාටද කොවිඩ්  ආසාදනයවී ඇති බවත්  සජිත් ප්‍රේමදාසගේ මෝඩ රැල්ල නිසා   මන්ත්‍රීවරුන්ට  කොවිඩ්  ආසාදනයවීම වැඩිවී ඇති බවත්   ඔහු චෝදනා කළේය.

ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු  මේ සභා ගර්භයේ මුව ආවරණ නොපළඳින බව පැවසූ ඇමතිවරයා අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ   මන්ත්‍රීවරුන්  පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

මේ අවස්ථාවේදී  සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරු  ඇමති ප්‍රසන්න රණතුංගගේ ඒ කතාවට විරෝධය දැක්වූහ.

මෙහිදී අදහස් දැක්වූ  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා උද්ඝෝෂණ පවත්වද්දී කොවිඩ්  පැතිරෙනවා නම්  අනුරාධපුරයේ උපන්දින සාද පවත්වද්දී කොවිඩ්  පැතිරෙන්නේ නැතිදැයි ප්‍රශ්න කළේය.

මෙහිදී සභාව ඇමතූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මන්ත්‍රීවරුන් සභා ගැබේදී සෞඛ්‍ය නීති රැකිය යුතු බවත් එමගින් රටට ජනතාවට ආදර්ශයක්ද ලබා දිය හැකි බවත්   ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles