Friday, April 26, 2024

සර්ව පාක්ෂික සමුළුවට සජබයටත් ආරාධනා – යනවාද නැද්ද තීරණය අද

අනිද්දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුලූවට සහභාගී වන්නැයි ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයටද ආරාධනාවක් ලැබී තිබෙනවා.

කෙසේ නමුත් ඒ සදහා සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබද තීරණය මෙතෙක් ගෙන නොමැති බවයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පළමුවෙන් සාකච්ඡා කල යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව අද පෙරවරුවේ කැදවා තිබෙන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් සිය පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන්නේ ද? නැද්ද? යන්න පිළිබඳ තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා තීරණය කරනු ලැබීය.

ඒ අනුව මේ වන විට සියලු පක්ෂවලට ඒ සඳහා ආරාධනා කර ඇති අතර පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ 10ක නියෝජිතයින් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවන බවට මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

ජාතික ජනබලවේගය ද සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරන බව ඊයේ (20) දිනයේ ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles