Saturday, April 20, 2024

ළමා මන්දපෝෂිතයන්ගේ දෙවැනි තැන ලංකාවට – UNICEF

දකුණු ආසියාවේ වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය ඉහළම දෙවන රට ශ්‍රී ලංකාව බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට ප්‍රකාශක බිස්මාර්ක් ස්වංගින් මහතා විදෙස් මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ,  ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ළමයින්ගේ අර්බුදයක් බවත්, ළමුන් මිලියන 1.7 කට මෙම අර්බුදයේ බර දරා ගැනීමට සිදුව ඇති බවත් ය.

තවද මෙරට ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණය තවත් උග්‍ර කිරීමට හේතුවක් වී ඇති බව ද UNICEF ප්‍රකාශකවරයා පවසා ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් 10 කින් 7 ක් ම ආහාර ගැනීම අඩු කර ඇති බව පවසන ස්වංගින් මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පවසා ඇත්තේ, වේල් තුනක් ආහාර ගත් පිරිස එය දෙකකට අඩු කර ඇති බවත්, වේල් දෙකක් ආහාර ගත් පිරිස එය එකක් දක්වා අඩු කර ඇති බවත් ය.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ළමා මන්දපෝෂණය තවත් නරක අතට හැරෙනු ඇති බවත් ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට රටට නොහැකි වීම හමුවේ දරුවන්ට සිය මූලික දේවල් පවා සපයා ගැනීමට නොහැකිව තත්ත්වයක් උද්ගතව ඇති බවද යුනිසෆේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ, පාසල් සිසුන්ට මෙම අර්බුදය දැඩිව බලපා ඇති බවත්, ඉන්ධන මිල ඉහළයාම හමුවේ පාසල් යාමට නොහැකි වීමත්, ආහාර මිල ගණන්  ඉහළ යාම හමුවේ සිසුන් කුසගින්නෙන් පෙළීමේ අවදානමකට ලක්ව සිටින බවත් ය.

මේ අතර යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 1.7 ක් සඳහා මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක ප්‍රදානයක් ඉල්ලුම් කර තිබේ.

ඒ දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ප්‍රතිකාර කිරීම, ප්‍රජාවට ජලය ලබාදීම, ගැබිණි මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර සහ අතිරේක ලබාදීම, දරුවන්ගේ මානසික සෞඛ්‍යට සහනයක් ලබාදීම අරමුණු කර ගනිමිනි.

තමන් සෝමාලියාව, යේමනය සහ සුඩානය වැනි රටවල් සමග ද කටයුතු කළ බව පෙන්වා දී ඇති යුනිසෙෆ් ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, මෙය අන් කිසිවකට නැති අර්බුදයක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles