Friday, April 19, 2024

අරගලය වැඩක් වුණාද? අරගලයෙන් රටට ලැබුණු දේ මෙන්න….

දින දහහතක් තිස්සේ කොළඹ ගාලු මුවදොර පිටියේ කඳවුරු ලා සිටින තරුණ තරුණියෝ යහපත් වූ හෙට දවසක් ගැන දහසක් ප්‍රාර්ථනා දල්වා සිටිති. වෘත්තිකයින්, කලාකරුවන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ ද එංගලන්තයේ සිට සුප්‍රකට ලෝරන්ස් ඔලීවියර් සම්මානලාභී හිරාන් අබේසේකරද මෙම ස්ථානයට පැමිණියේ තරුණයන්ගේ ඇති උනන්දුව හා කැපවීමට සහායක් වන්නටය.

මෙයින් පැහැදිලි කරනුයේ කෝටි ගණනක මුදලක් වැයකරමින් තරුණයන් ගෙන යන අරගලයෙන් රටට හිමිව ඇති ජයග්‍රහණ කිහිපයක් ගැන මතක් කිරීමකි. මේ අපට තරුණ අරගලකරුවන් වෙතින් ලැබුණු කෙටි පණිවිඩයකි.



අරගලයේ ඉන්න මිතුරනි,

තවම අරගලය ජයගෙන ඉවර නැහැ. ජයග්‍රහණය පේන මානයේ තියෙනවා. අප මේ අරගලය ඉස්සරහට අරන් යන තරමට මේ දූෂිත පාලකයන් ජාතික මට්ටමින් පමණක් නොවෙයි ජාත්‍යන්තර ව පවා ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. දැනටමත් ඇමතිකම් ගන්න මිනිස්සු නැති ව ආණ්ඩුව අස්ථාවර වෙලා. අස්ථාවර ආණ්ඩුවක් ජාත්‍යන්තරය ගණනකට ගන්නෙ නෑ. ඒ නිසා ඔවුන් අත් නොහැර අල්ලාගෙන ඉන්න බව කොහොම කීවත් රට මෙතැනට ඇද දාපු පාලකයන්ට අස් වෙන්න ම සිද්ධ වෙනවා. අපි දැනටමත් ලබපු ජයග්‍රහණ බොහොමයි. ඉතින්, මතක හැටියට කිහිපයක් අකුරු කරන්නම්. ඔයාලත් මගහැරුණු කරුණු එකතු කරන්න.

01. කොහුවල, හෝමාගම ආදී නගරවලින් පටන්අරගෙන විහාරමහාදේවිය, නිදහස් චතුරශ්‍රය ආදී තැන්වලට ආපු පුංචි මට්ටමේ අරගල ටිකෙන් ටික දැවැන්ත වෙලා අප්‍රියෙල් මාසය මුල රට වටේ ම අරගල පටන් ගත්තා. ඒ අරගල ලොකු වෙද්දී ම, කැබිනට් මණ්ඩලයේ ජනාධිපති සහ අගමැති හැර අනෙක් සාමාජිකයන් සියලුදෙනා ඉල්ලා අස් වුණා.

02. ඒ ඉල්ලා අස්වෙනකොට හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, හිටපු ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ සහ හිටපු වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ වැනි අයත් අස් වුණා. අන්තිමේ ශෂීන්ද්‍ර රාජපක්ෂත් ඉවත් ව, ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද හැර රාජපක්ෂ පවුලේ හැමෝ ම ඉවත් වුණා.

03. දූෂිත පවුල්පාලනයේ කොටස්කරුවකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිකමින් අයින් වුණා. එස්.ආර්. ආටිගල මුදල් අමාත්‍යාංශයේ ලේකම්කමින් අයින් වුණා. මේ දෙන්නා ම ආර්ථිකය ගැන කරුණු දන්න විද්වතුන්ට ඇහුම්කන් නොදී, හිස උදුම්මාගෙන, තනි මතයට, පාලකයන්ට වැරදි උපදෙස් දෙමින්, ආර්ථිකය මේ තැනට ඇද වැට්ටූ අය. අර්බුදයට පාලකයන් වගේම වග කියන්න ඕනෑ අය. ඒ වෙනුවට විෂය දන්නා කෙනෙක් මහබැංකුවෙ අධිපති ධුරයට පත් වුණා.

04. ආණ්ඩුව මහා ආඩම්බරයෙන් හිටියේ තමන්ට තුනෙන් දෙකක් තියෙන බව කියමින්. ඒක පාවිච්චි කරලා ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා සමහර නායකයන් හිතුවා. ඒත් අපේ අරගලය පටන්ගත්තාට පස්සේ, දේශපාලන අනාගතය ගැන බියට පත් වූ සමහර අය ආණ්ඩුවෙන් ම අයින් වුණා. දැන් ආණ්ඩුවට තුනෙන් දෙකක් නැහැ. යාන්තමට 113ක් තිබුණත්, ඒකත් විශ්වාස නැහැ.

05. මේ ජනාධිපතිවරයා තුනෙන් දෙක පාවිච්චි කරමින්, ජනාධිපතිවරයාට තියෙනවාටත් වඩා මහා බලතල ගොඩගහගන්නට 20 වැනි සංශෝධනය ගෙනාවා. ඒ සංශෝධනය ගෙනාවේ රට සංවර්ධනයට ඒක වැදගත් බව කියලයි. ඒත්, දැන් ගෙනාපු අය ම 20 වැනි සංශෝධනයේ අඩුපාඩු පිළිඅරන් ඒක අයින් කරලා, ජනාධිපතිට ඕනෑ හැටියට හැසිරෙන්න පුළුවන් විදියට තිබූ මහා බලය අඩු කරන්න කැමති වුණා. අගමැතිවරයා විසින් 20 වැනි සංශෝධනය අහෝසිකොට 21 වැනි සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලබාගත්තා.


06. ගෝඨාභයට සහය දීපු කලාකරුවන්, වෘත්තීයවේදීන් ඇතුළු බොහෝ දෙනා ජාතියෙන් සමාව ගත්තා. එපමණක් නෙමෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා තමන්ට වැරදුණු බව පිළිගත්තා. ඔබ දන්නවා ගෝඨාභය කියන්නෙ කිසිදා තමන්ගේ වැරදි පිළිගත් කෙනෙක් නෙවෙයි. නිහතමානී වූ කෙනෙක් නෙවෙයි. තමන් හැම වෙලාවෙ ම නිවැරදියි කියන විශ්වාසයේ හිටපු කෙනෙක්. ඔහු තමන් කරපු වැරදි පිළිගන්න තැනට තල්ලු වුණා. ඔය ආණ්ඩුවට ආපු බලපෑම්වලට අමතර ව අරගල කරන එක ඇතුළේත් අපි ලබපු ජයග්‍රහණ ගොඩක් තියෙනවානේ. පාලකයන් විතරක් නෙවෙයි, රටේ මිනිස්සුත් මේ අරගලයෙන් වෙනස් වුණා.


07. ලංකාවේ නීතිඥයන් අතර සිටින කීර්තිමත් ම නීතිඥයන් නීතිමය වශයෙන් ජනතාවට ආරක්ෂාව සපයන්න පටන් ගනිමින්, ජනතාවට ආරක්ෂාව සැපයුවා. ඒක ලොකු ම ලොකු ජයග්‍රහණයක්. නීතිඥවරුන්ගේ ආරක්ෂාව ලැබෙන බව දැනගත්තාම මිනිස්සු තමන්ගේ ප්‍රශ්න රටට කියන්න බය නැතිව ඉදිරියට ආවා. කට පියාගෙන ප්‍රශ්න ඉවසගෙන ඉන්නවාට වඩා, බය නැතිව ඉස්සරහට ඇවිත් ප්‍රශ්න විසඳන්න කියා පාලකයන්ට බල කරන තැනට මිනිස්සු පත්වීම ම කොච්චර ලොකු ජයග්‍රහණයක් ද?


08. කලින් කීව කාරණයේ ම දිගුවක් විදියට මිනිස්සු විදියට අපි අපේ බලය හඳුනාගත්තා. අසාධාරණයකට, අදූරදර්ශී සහ වංචා සහගත පාලනයකට එරෙහි ව හැමෝම පක්ෂ, පාට, ජාති, සමාජ තත්වය, කුලමල භේදයක් නැතිව හැමෝම එකතු වුණොත් අපට කරන්න පුළුවන් දේවල් තේරුම් ගත්තා. බලය වෙනුවෙන් ජාතීන් අතර අසමගිය වපුරපු රාජපක්ෂලාට තමන්ගෙ ඇස් ඉදිරිපිට ම වඳ කොත්තු වගේ ගුණ්ඩු අවලංගු වෙන ආකාරය පේන්න පටන්ගත්තා. ජාති ආගම් පක්ෂ පාට ජනවර්ග භේදයකින් තොර ව හැම ශ්‍රී ලාංකිකයෙක් ම තමන්ගෙ පුරවැසි අයිතීන් වෙනුවෙන් පාරට බැස්සා. ජෙහාන් අප්පුහාමිගේ කුරුසියේ පාපය පෙන්වන චාරිකාවෙන් පසු සියළුම ආගම්වල අය එක බිමක එකට ඉඳගත්තා.


09. මින් ඉදිරියට කිසිම දේශපාලන නායකයෙක්ට වන්දනාමාන කරන්නේ නැති තැනට මිනිස්සු විදියට අපි හැදෙන්න ඕනෑ. මේ අරගලය නිසා අපි ඒ අනාගතයට ළං වුණා. දැන් මේ වෙනකොට පාරවල්වලට නම් දාන එකේ පටන් පාලම් විවෘත කිරීම් දක්වා කුදුමහත් සෑම මහජන ව්‍යාපෘතියකට ම නම ගහගත්ත දේශපාලකයන්ගෙ නම් ඒවයින් අයින් වෙමින් තියෙනවා.

10. තමන්ගේ ජාතියේ අභිමානය රැකගන්න අතරේම, හැම ජනවර්ගයක් ම එකතුවෙලා රටක් හදන්න ඕනෑ බවත් අපි තේරුම් ගත්තා.

11. මේ ආණ්ඩුව ගේන්න මැදිහත් වෙච්ච කලාකරුවන් සහ තවත් ප්‍රසිද්ධ අය ගොඩක් ආණ්ඩුවෙන් ඈත් වුණා. ගොවීන්ට නැවත වගාකරන්න අවශ්‍ය රසායනික පොහොර ගෙන්වන තත්ත්වයට ආණ්ඩුව තීරණ ආපස්සට ගත්තා. ගැසට් නැවත ඇකිළුවා.

තරුණ අරගලකරුවො කතාකරේ රාජපක්ෂ එළවන එක විතරක් නෙවෙයි, ආර්ථික අහේනිය, ජනතාවගේ පීඩනය, බඩුමිල අඩුකිරීම වගේ හැම දෙයක් ගැනම එතන කතාකරා.
පටු අරමුණුවලින් අරගලය තිබුණ කාලයේ පවා අරගලකරුවන්ට විරුද්ධව කතා කරපු සමහර අය, හෙමිහිට වෙනස් වුණා. ආණ්ඩුවට සහයෝගය දෙන්න හිටපු අය ගොඩක් අඩු වුණා. මිනිස්සු ගැන හිතන්නේ නැති ඕනෑ පාලකයෙක්ට අනාගතයේ අත්වෙන ඉරණම පාඩමක් විදියට අපි දේශපාලන නායකයන්ට ඉගැන්වුවා.

ඉතින්, මට හෝ ඔබට අරගලයේ ඉන්න හැමෝම වෙනුවෙන් කතා කරන්න බැහැ. අරගලයට විවිධ හේතු එක්ක ආපු විවිධ මිනිස්සු ඉන්න බව පේනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක ආණ්ඩුව ගෙදර යන්න කියන ඉල්ලීම ආවේ ඉබේම නෙවෙයි. ඒකට පදනම් වූ කරුණු බොහොමයක් තියෙනවා. බොහෝ අය ඔවුන් ඉල්ලා අස්වෙන්න ඕනෑ බව කියන්නේ දැන් තියෙන අර්බුදය කලින් ඉඳලාම පෙනි පෙනී තිබුණාට, ඒක විසඳන්න වැඩ නොකරපු නිසා. ඒ විතරක් නෙවෙයි, අදූරදර්ශී බදු ප්‍රතිපත්තිය, රසායනික පොහොර තහනම වගේ තීන්දුවලින් ඒ අර්බුදය තවත් වැඩි කරපු නිසා.

ඔය අතරේ රාජපක්ෂ පවුලේ අයත්, හිතමිතුරනුත් විඳපු අධිසුඛෝපභෝගී ජීවිතය හෙළි වුණ නිසා. පෞද්ගලික ගුවන් යානා, විදේශ සංචාර, විනෝද ක්‍රීඩා රට අර්බුදයක තියෙද්දී පවා ඔවුන් අත්හැරියේ නෑ. ඒ වගේම ඔවුන්ගේ දූෂණ වංචා ගැන අලුත් කරුණු වගේම පරණ කරුණුත් කතාබහට ලක් වුණා. තවත් බොහෝ දෙනෙකු ඔවුන් අස් විය යුතුයි කියන්නේ, බලයට පත්වීමේදී ඔවුන් අනුගමනය කරපු බිහිසුණු උපායමාර්ග දැන් එළි වුණ නිසා. ඔවුන් ජාතිවාදය ඇවිස්සූ බව හෙළිවුණ නිසා. පාස්කු ප්‍රහාරයට පවා යුක්තිය ඉටු වුණේ නෑ. ඒක වෙන්න ඉඩහැරපු දේශපාලන යාන්ත්‍රණයක් තියෙනවාද කියලාත් සැකයක් ඇති වුණා. තවත් අය කාලයක් තිස්සේ රාජපක්ෂ පවුලේ පාලනයට විරුද්ධ වුණේ කලින් ඉඳන් ඔවුන් කරපු දේවල් දැකලා, ඔවුන් ගැන කලින් ඉඳලාම තිබුණ විරෝධයක් එක්ක.

ගොවියන් ආවේ පොහොර ප්‍රශ්නය නිසා. රියදුරන් ආවේ ඉන්ධන ප්‍රශ්නය නිසා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය නිසා ආපු අයත් ඉන්නවා. සමහර ව්‍යාපාරිකයන් ආවේ ව්‍යාපාර කරන්න බැරි නිසා. ලේඛකයන් ආවේ කඩදාසි නැති නිසා. වෛද්‍ය වෘත්තිකයන් සහ හෙදියන් ආවෙ බෙහෙත් හිඟය නිසා මිනිස්සු මැරෙනවා බලන් ඉන්න බැරි නිසා. නීතීඥවරුන් ආවෙ නීතියේ සාධාරණත්වය ඉල්ලලා. කථිකාචාර්යවරුන් ආවෙ රටේ අධ්‍යාපනය කඩාවැටෙන නිසා. ගුරුවරුන් ආවෙ විභාගයක් තියාගන්න ප්‍රශ්නපත්‍ර අච්චු ගහන්න වත් මේ ආණ්ඩුවට බැරි නිසා. සංචාරක ක්ෂේත්‍රයේ අය ආවේ සංචාරක ක්ෂේත්‍රය බිමට වැටිලා නිසා.. තව කී වර්ගයක් මෙතනට ආවද? මේක නැත්තං ඒ මිනිස්සු කාටද මේවා කියන්නේ? කොතනද මේවා කියන්නේ? හඬක් නැති මිනිසුන්ට මේ භූමිය හඬක් වුණා. ඇත්තටම ගොඩක් අය ආවේ ඔය වගේ හේතු ගොඩක් කැටි කරගෙන. ඉතින්, මොන හේතුව මත ආවත්, මොන ප්‍රතිපත්ති හිතේ තියාගෙන ආවත් අරගලකරුවන් මෙහෙම හිතනවා ඇති කියලා බලා ඉන්න මට හැඟෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අස් වෙලා, මේ ආණ්ඩුව ඉවත් වුණත්, අලුත් පාලනයක් හැදුණත් කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. එහෙත්, රට මෙතැනට ඇද දැම්ම පාලකයන් ඉවත් වෙන එක මුලින්ම වෙන්න ඕනෑ. මිනිස්සුන්ට වගකියන පාලනයක් යටතේ රටේ අර්බුද විසඳන්න ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වූ ගමන්, අලුත් රටක් හදන්න හරිම උනන්දුවෙන්, උද්යෝගයෙන් අරගලවලට ආපු තරුණ ප්‍රජාව වැඩ පටන් ගනීවි. අනාගත ලංකාවකට ප්‍රතිපත්ති හදන්න, කතා කරන්න අපි එකතු වේවි. විදේශ රටවල ඉන්න ලංකාවේ අයත් අලුත් රටක් හදන්න එක් වේවි.

ස්තූතියි

තරුණ අරගලකරුවෝ – ගාලුමුවදොර සිට

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles