Thursday, April 18, 2024

අසිරිමත් ඉන්දියාවට සංචාරයක්… INCREDIBLE INDIA – MANALI TOUR

දීර්ඝ කාලයක ඉදලා හිතේ තිබුණ ආසාවක් තමයි ඉන්දියාවෙ,ඉන්දියාවෙත් මනාලි සහ ලදාක් බලන්න යන්න..කොච්චර කල් බලං හිටියත් එක්තරා දවසක වැඩිය හිතන්න බලන්නෙ නැතිව සැසුම් කරන්නෙ නැතිව ගත්ත තිරණයක් නිසා ගමන සැබෑ වුනා..

ජූලි 14 වෙනිදා තමයි එහෙ යන්න තිබුනෙ. ඉන්දියාවෙ යනවනම් ලාබම ෆ්ලයිට් එකක් තමයි ඉන්ඩිගෝ.. කොළඹ ඉදලා දිල්ලි (චෙන්නයි හරහා) ෆ්ලයිට් එකට රුපියල් 22,456 ගියෙ… (මීටත් වඩා ගණක් අඩු වන වෙලාවල්තියෙනවා). චෙන්නයි වල පැය හයක් බලන් ඉන්න නම් වුනා… හවස 6.45 ට තිබුන ෆ්ලයිට් එකෙන් චෙන්නයි ඉදලා දිල්ලි ගියෙ..ඩොමෙස්ටික් ටර්මිනල් වල චෙක් කරන්නෙ මුකුත් නැති නිසා විනාඩි පහලවෙන් එලියට යන්න පුලුවන් වුනා… ඒ යනකොට මගෙ යාලුවො හිටියා මාව ගන්න ඇවිත්… දිල්ලි වල එපා වෙන ට්‍රැෆික් එක අස්සෙන් අපි ගියෙ කෂ්මීර් ගේට් කියන අන්තර් ප්‍රාන්ත මධ්‍යම බස් නැවතුම්පලට… එතනින් මනාලි යන බස් එවෙලෙ නොතිබුන නිසා අපිට සිද්ධ වුනා චන්දිඝඩ් වලට යන්න…දිල්ලි ඉදලා චන්දිඝඩ් යන්න පැය හයයි..උදේ හය හමාර විතර වෙද්දි චන්දිඝඩ් වලට ගියා.චන්දිඝඩ් ගැන යමක් කිවොත් ඒක ස්වාධීන පාලන ප්‍රදේශයක් නොහොත් Union Teritory එකක්..ප්‍රාන්ත රජයන්ට අයත් නොවෙන ,මධ්‍යම රජයෙන් පාලනය වන ප්‍රදේශයක්.අනිත් අතට චන්දිඝඩ් නගරය පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්ත දෙකටම අයිති නිසා ප්‍රාන්ත දෙකේම අගනුවර ලෙස පිළිගන්නවා.

චන්දිඝඩ් බස් නැවතුම්පල හරිම කාර්‍යය බහුල බස් නැවතුම්පලක්.. දත් මැදලා මූණත් හෝදගන්න අපිට පුළුවන් වුනා..ගොඩ දෙනෙක් රැස් කකා හිටියා ඒ වැඩේට… මනාලි යන ;පන්ජාබ් රෝඩ්වේස් එකට අයත් බස් එක තිබුණෙ 8 ට..ඒක එච්චර සුපිරි පහසුකම් තිබුණ බස් එකක් නම් නෙමේ. ප්‍රාන්ත ආණ්ඩුවෙන් කරන එකක් නෙ…. බස් එකේ හිටිය පන්ජාබ් ජාතික ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි කිසිම සුහදශීලීත්වයක් නැති පුද්ගලයො දෙන්නෙක් .පන්ජාබ් වරුංගෙ තියෙන මාන්නෙ හොදටම තිබුණා ඒ දෙන්න ලග.(ලදාක් යද්දි ගිය බස් එකේ දෙන්නනම් හරිම සුහදශීලි දෙන්නෙක්..පසුවට)
පැය දහයක ගමණකින් පස්සෙ අපි මනාලි වලට ආවා… මනාලි එන අතරමග කිවුවොත් ස්වාගත් කදු වැටියෙන් පස්සෙ තමයි කදුකර ප්‍රදේශ පටං ගන්නෙ . දළ වශයෙන් කිලෝ මීටර 306 ක් විතර දුරක් මනාලි සහ චන්දිඝඩ් අතර තියෙනවා…

3 ඉඩියට්ස් බලපු අය මතක් කරගන්න,තේමා ගීතය යන අතරේ පෙන්ව්න දර්ශන චන්දිඝඩ් සිට මනාලි යන හයි වේ එකේ දර්ශන..ෆිල්ම් එක මැදදිත් දර්ශන තියෙනවා…


මනාලි වල කොටස් දෙකයි, මනාලි සහ පුරාණා මනාලි තමයි ඒ ..අලුත් මනාලි තියෙන්නෙ මිටියාවතක..ටවුම තියෙන්නෙ අලුත් මනාලි වල… බස් ස්ටෑන්ඩ් එක.. කඩ සාප්පු එහෙම වැඩිපුර තියෙන්නෙ මනාලි ටවුමෙ… 

පරණ මනාලි තියෙන්නෙ ටිකක් ;කිලෝමීටර දෙකක් විතර ඇතින් කඳු ප්‍රදේශයක..වාසනාවට අපි නවාතැන් ගත්තෙ පරණ මනාලිය ඉන්න හරියෙ තමයි… ඒ හරිය තරමක් සාම්ප්‍රදායිකයි… මනාලි වල සම්ප්‍රදායිම ලක්ෂණ දකින්න පුළුවන් පුරාණා මනාලි වල…

කාන්තාවන් සහ පිරිමින් දෙකොට්ඨාසයම අදින්නෙ නේපාලි ජාතිකයන් අදින ඇදුමට හුරු ඇදුමක්… කාන්තාවන් සලුපටින් හිස වෙලාගෙන තමයි නිතරම ඉන්නෙ..සමහරු පොඩි ජටා විදිහටත් සලුපට ඔතනවා… මේ සළු සහ ඇදුම් වලට පාවිච්චි කරන රෙදි බොහොමයක් ඒ අය අතින් ගොතන ඒව වෙන්න පුලුවන්. 

ගෙදර විවේකය ගත කරන ගමන් , අසල්වැසියන් සමග කතාබහ කරමින් ඉන්න අතරෙ, ලොකු ගොතන කටු දෙකකින් සලු ගොතන කාන්තාවන් සුලභ දර්ශණයක්..පරණ මනාලි එන පාර දෙපැත්තෙම මේ වගේ අතින් වියාපු රෙදි විකුණන් කඩ බොහොමයක් තියෙනවා..පිරිමි අය කලිසම හෝ දෝතිය එක්ක කමිසය ඇදලා ඊට උඩින් වෙස්ට් කෝට් එක එහෙම නැත්තම් ඉන්දියාවෙ විදිහට කිවුවොත් නේරු ජැකට් එක වගේ එකක් අදිනවා..හරිම වර්ණවත්… හිසට ලස්සන තොප්පියක් දානවා.සමහර වෙලාවට ලොකු සලුවක් පෙරවනවා..ඒ තමයි එයාලගෙ සාම්ප්‍රදායික ඇදුම…

කාන්තාවන් ලොකු කූඩ පිටේ බැදන් ඒවයෙ කැලෑ වලින් කඩාගත් එලවලු , කොල ජාති දමාගෙන විකුණන්න හෝ පාවිච්චියට ගන්න අරන් යන එක සුලභ දර්ශනයක්…


ගෙවලුත් නේපාලි ගෙවල් වලට හුරුයි..සාම්ප්‍රදායික ගෙවල් කොටස් දෙකකින් යුතුයි..පහල කොටස දිගින් හා පලලින් අඩු මැටි හෝ ගල් වලින් තනපු කොටසකිනුත් ,ඉහල මාලය ලීවලිනුත් හදපු මේ ගෙවල් හෙවිල්ලලා තියෙන්න ගල් පතුරු වලින් හෝ උලු වලින්…  

ගෙවල් වල පහල කොටසේ මිනිසෙකුට අපහසුවෙන් ඇතුළු විය හැකි ආකාරයේ කුඩා දොරක් තියෙනවා. ඒ කුමකටද කියලා ඇහුවම මනාලි ජාතිකයෙක් කිවුවේ ශීත් සෘතුවේදි ගවයන් ගාල් කිරීම සදහා නිවසේ එම පහල කොටස ඉදිකර ඇති බවයි… ඊට අමතරව මෙම පහල කොටසේ ගබඩා කාමර තියෙන බවත් ඔහු කිවුවා…ලී වලින් හදපු ඉහල මාලයේ තමයි මිනිසුන් වසන්නෙ…

සමහර ගෙවල් වල ලස්සන කැටයම්, ලියවැල් චිත්‍ර එහෙම තියෙනවා..ප්‍රභූ නිවාස හෝ තරමක් යමක් කමක් තියෙනවයි කියලා හිතන්න පුලුවන් අයගෙ ගෙවල් ටිකක් ලොකුයි සහ කැටයම් වැඩියි….

මනාලි ජාතිකයන් පැහැපත් හමක් හිමි අය.. කුල්ලු ප්‍රදේශයේ මා එන විට දුටු අය බොහොමයක් රතු පැහැය මිශ්‍ර සුදු සමක් තිබුණු අය..මනාලි වල අයත් එවන් පැහැයක් හෝ සුදු පැහැයෙන් යුත් සමක් හිමි අය.. පොදුවෙ ගැහැනු පිරිමි දෙකම බොහොමයක් කඩවසම් පෙනුමකින් යුත් අය…

මනාලි වල අපේ දෙවනි දවසෙ මනු දේවාලය නමින් හදුන්වන දේවාලයේ දේව පූජාවක් දැක ගන්නත් අපිට පුලුවන් වුණා…ඒක ගැන පස්සෙ වෙනම ලියන්නම්…

පරණ මනාලියෙ මට දකින්න පුළුවන් වුන ලස්සනම දෙයක් තමයි යැක් හරක්..ඇඟ පුරා ලෝම වැවිච්ච යැක් හරක් ලස්සන සතෙක්.. දැක්කට මට ෆොටෝ ගන්න බැරි වුණා..

පරණ මනාලියෙ තැන් කිහිපයකම දැක්ක පොලොව යටට වෙන්න හදපු සහ උඩින් පිරමීඩයක හැඩයට ගලින් ආවරණයක් තැනූ කුඩා පොකුණු .. 

මෙව්වට කියන්නෙ ‘භූත් පානි බාඔලී’ (භූත වතුර පොකුණ) කියලා මනාලි වල කාන්තාවක් අපිට කිවුවා..ඉස්සර ඒවා ප්‍රයෝජනයට ගත්තාත් දැන් අප ජලය මිශ්‍ර වෙන නිසා ඒව ප්‍රයෝජනයට ගන්නෙ නෑ කියලා තමයි එයා කිවුවෙ…

මනාලි එනකොට ටකෝලි පහුවෙනවත් එක්කම දකින්න පුළුවන් වුන දෙයක් තමයි යායට හැදුන ඇපල්,දෙළුම් සහ පෙයාස් වතු… මනාලි වලනම් ඇපල් කැලෑවට වගේ හැමතැනම හැදිලා… ලස්සනයි.. හැබැයි කැලෑවට හැදුනට ගෙඩි පැහුණම කඩාගෙන ගිහින් මේ අය විකුණනවා ඇති….

මනාලි වාසින් ගෙන් අපට හමු වුණ සහ කතා බහ කලා හැමෝම වගේ බොහෝම සුහද අය…
පරණ මනාලි වල ඉදන් ඝෝශාල් කියන ගමට යන කැලෑව මැදින් වැටිච්ච පාර ඉතාම මන්ස්කාන්ත,කැලෑව මැද තියෙන අමුතු ලෝකයකට යන පාරක් වගේ..

අපි ලබන සතියෙත් ඉතිරි කොටසින් ඇවිදිමු….


සංචාර සටහන
අමිල ලක්මාල් ආර්යන්
(ඉන්දීය සංචාරයකින් පසු)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles