Friday, March 29, 2024

ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න –
ඇමති ප්‍රසන්න රණතුංග

ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ උද්ඝෝෂණ වල සැබෑ අරමුණ ජනතාව පාරට බස්සවා කොවිඩ් බෝ කර කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි කර නැවත රට වැස්සවිම බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රට තුළ කොවිඩ් වසංගතය වැඩි කිිරිමෙන් විපක්ෂය කුරිරු සතුටක් ලබන බවයි. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැඩි කැපවීමෙන් කොවිඩ් වසංගතය පාලනය කර තිබිය දී නැවත රට තුළ උද්ඝෝෂණ රැල්ලක් ඇති කිරීමට විපක්ෂය කටයුතු කරන්නේ මේ නිසා බව ඇමති ප්‍රසන්න රණතුංග පෙන්වා දෙයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොළඹ දී පැවති උත්සවයක දී අනතුරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව සදහන් කළේය.

එහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

“අපිට පහුගිය යහපාලන ආණ්ඩුව භාරදුන්නේ දේශීය ආර්ථිකයේ කොදු නාරටිය බිදපු රටක්. අපිට මතකයි සිරිමාවෝ මැතිණියගේ කාලයේ මේ රටේ දේශීය ආර්ථිකය නංවන්න කටයුතු කළා. හැබැයි 1977 දි ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විවෘත ආර්ථිකය හදුන්වා දීලා මේ රටේ මිනිස්සුන්ට සොසේජස් කවලා, චීස් බටර් කවලා දේශීය නිෂ්පාදනය විනාශ කළා. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රටේ දේශිය නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න කටයුතු කළත් 2015 දි බලයට පත් වු යහපාලන ආණ්ඩුව එය සම්පූර්ණයෙන් ම විනාශ කළා. අපි 2019 දී භාරගත්තේ මහබැංකුව මහ දවල් කොල්ලකාලා රටේ ආර්ථිකය විනාශ කරපු රටක්. මේ මහ බැංකු මංකොල්ල කෑමෙන් පස්සේ මේ රටට ආයෝජකයෝ එන්නේ තවමත් බයෙන්. කොටි ත්‍රස්තවාදී යුද්ධය වගේම 88-89 ජේ.වි.පි කැරැල්ලත් මේ තත්ත්වයට වග කියන්න ඕනේ.

2019 ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ අපිට මේ ගෝලීය කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න සිදු වුණා. මේ වසංගතය හේතුවෙන් අපේ ආර්ථිකය කඩන් වැටුණා. යහපාලන ආණ්ඩුව දේශිය ආර්ථිකය කඩා දැමිමත් අප අද මේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට හේතුවක්. නමුත් රජය දැඩි කැපවීමකින් කොවිඩ් වසංගතය පාලනය කිරිමට කටයුතු කළා. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඒ සදහා කළ කැපකිරිම අද විපක්ෂය අවතක්සේරු කරනවා ඒ නිසයි ඔවුන් ජනතාව පාරට බස්සලා කොවිඩ් බෝ කරලා  කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි කරලා ආපහු රට වස්සවන්න හදන්නේ. කොවිඩ් වැඩිවෙලා මරණ වැඩිවෙනකොට විපක්ෂය ඒකෙන් කුරිරු සතුටක් ලබනවා. කොවිඩ් පොකුරු වැඩි කරලා, මරණ වැඩි කරලා රට වැහුවාමයි සජිත් අනුර ඩබලට නින්ද යන්නේ. ”

ආණ්ඩුවේ සහෝදර පක්ෂ වල ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ කිසිවෙකු  බලහත්කාරයෙන් රදවා ගැනීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නොමැති බවයි.

”ඉන්න කැමති අයෙකුට ඉන්න පුළුවන්. යන්න ඕන අයට යන්න පුළුවන්. අපිට බලහත්කාරයෙන් කිසිවෙකු තියාගන්න අවශ්‍යතාවයක් නෑ. ආණ්ඩුව තුළ සාමුහික එකගත්වය රැකීම අපි හැමෝගෙම වගකීමක්. ආණ්ඩුව ඇතුළේ ඉදලා ආණ්ඩුව විවේචනය කරලා වීරයෝ වෙන්න සමහරු හදනවා. ඉදිකට්ට රත්තරං කියලා අපිට ඇහේ ඇනගන්න බෑ. රටේ තියෙන තත්ත්වය අවබෝධ කරගෙන හැමෝම ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත් උදව් කරන්න ඕනේ. ” යැයි ද ඇමතිවරයා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles