Tuesday, April 23, 2024

ආයෝජන සිදු කිරීමට යාමේදී ජාතික සම්පත් විකුණනවායි විපක්ෂය බොරු ප්‍රචාර ගෙනියනවා – රාජ්‍ය ඇමති ලාන්සා

විදෙස් රටවල් සමඟ ආයෝජන අවස්ථාවන් සිදු කිරීමට යාමේදී ජාතික සම්පත් විකුණනවායි විපක්ෂය බොරු ප්‍රචාර සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවිකිරීමේ උත්සවයට (25) දින සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“අද රටේ හැමතැනම උද්ඝෝෂණ, වැඩවර්ජන මෙහෙයවමින් විපක්ෂය විසින් රටේ ආර්ථික ක්‍රියාවලිය අකර්මණ්‍ය කරන්න උත්සාහ කරනවා. කොවිඩ් වසංගතය තුළ ලෝකයේ කිසිම රටක වැඩවර්ජන සහ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු වුණේ නැහැ. ආර්ථිකයට වඩා වැදගත් ජනතාවගේ ජීවිත බේරා ගැනීම යන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීන්දු කළා. ඒ නිසා ලෝකයේ අනිත් රටවල් සමඟ බලන විට ලංකාව එන්නත්කරණ අතින් සුවිශේෂී ස්ථානයකට පැමිණ තියෙනවා. අද ජනතාව ඒ ගැන කථා කරන්නේ නැහැ. පසුගිය කාලයේදී කොරෝනා නිසා මිනිස්සු මැරුණාම විවිධ ප්‍රචාර ගෙන ගියා. මළ මිනී පෙන්නුවා. අද ඒ සියලු දේ අවම කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන්කම ලැබිල තියෙනවා. අද කවුරුත් මේ ගැන හොඳ කියන්නේ නැහැ. අද කාටවත් මේවා පෙනෙන්නේ නැහැ. 

ලංකාව ලෝකයේ දරුණු වසංගතයකට මුහුණු දීල  ඒ වසංගතය ජයග්‍රහණය කරපු ලෝකයේ අංක එකට පැමිණි රටක් ලෙස ශ්‍රී ලංකාව ගන්න පුළුවන්. අපි දුප්පත් රටක්. අපට බලය තියෙන රටක් නෙමෙයි. තාක්ෂණය අතින් විශාල දියුණු රටක් නෙමෙයි. එහෙත් අපට බලවත්, ධනවත් රටවල් අභිබවා කොරෝනා අවම කිරීමේ වැඩසටහන ඉතා හොඳට කරන්න පුළුවන් වෙලා තියෙනවා. වැටුණු ආර්ථිකය ගොඩගන්න මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කරල තියෙනවා. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙලා සහයෝගය දෙන්න ඕන.
ආණ්ඩුවකට තනිව ආර්ථිකය ගොඩනගන්න බැහැ. කොරෝනා වැඩි වෙද්දී රට වහන්න වහන්න කිව්වා. වැහුවා. මොකද වුණේ? අපට ලැබිය යුතු සියලු ආදායම් නැති වුණා. රේගු, සුරා බදු, සෘජු සහ වක්‍ර බදු ආදායම් අඩු වුණා. ඇයි ඒ? රට වැසූ නිසා. රට වහන්න කිව්වා. අපි වැහුවා. කොරෝනා වසංගතයෙන් රට බේරා ගත්තා.  අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේම ආර්ථිකය වැටිල තියෙන්නේ. ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩි වෙද්දී අපට මොකද කරන්න පුළුවන්. ගෑස් වැඩි වෙද්දී අපට මොකද කරන්න පුළුවන්. සිමෙන්ති වැඩි වෙද්දී අපට මොකද කරන්න පුළුවන්. මේ සියල්ලම ආනයනය කරනවා. ආනයනය කරද්දී කන්ටේනර් ගාස්තු වැඩි වෙලා. රක්ෂණ ගාස්තු වැඩි වෙලා. විපක්ෂයේ අය මේවා දන්නවා. ඒත් කියන්නේ අඩු කරන්න කියලා. අඩු කරන ක්‍රමය පුළුවන් නම් කියල දෙන්න. ආර්ථිකයට සල්ලි ගස්වලින් කඩන්න බැහැ. විපක්ෂ නායක යන යන තැන කියන්නේ දෙන්නලු. දෙන්න තියෙන්න එපාය. තියෙන්න ලැබෙන්න එපාය. කාගෙන්ද ආදායම් ලැබෙන්නේ ? 
ආණ්ඩුවට ආදායම් ලැබෙන්නේ සෘජු හා වක්‍ර බදුවලින්. ජනතාව තලා පෙලා මේවා ගන්න බැහැ. කොරෝනා නිසා ජනතාව අමාරු තත්ත්වයක ඉන්නේ. කවුරු ආණ්ඩු කලත්, කවුරු ජනාධිපති වුණත් සල්ලි ගස්වලින් කඩන්න බැහැ. රට විවෘත කරලා ආර්ථිකයට ඉඩ දෙන්න ඕන. ආදායම් එන ඒවා සියල්ල නැති වෙලා. යුක්රේන සංචාරකයින් ගෙන එන විට යුක්රේන ගණිකාවෝ ගේනවා කිව්වා. සෘජු ආයෝජන ගේන්න ගියාම රට විකුණනවා කිව්වා. LNG බලාගාරය අවුරුදු පහකට දුන්නාම ජාතික සම්පත් විකුණනවා කියනවා. ආයෝජන සඳහාවත් අවස්ථාවක් දෙන්න බැහැ. LNG ව්‍යාපෘතිය තුළින් ඒකකයකට රුපියල් 30 ක් වියදම් වෙනවා. මෙම ව්‍යාපෘතිය තුළින් රුපියල් 19 යන්නේ. රුපියල් 11ක් එක ඒකකයකට අඩු වෙනවා. ඒ නිසා කෝටි ගණනක් ඉතිරි වෙනවා. නමුත් ජාතික සම්පත් විකුණනවා කියලා කඩාකප්පල් කරනවා. ගෑස් ඒකාධිකාරයක් දීල තියෙනවා කියනවා. ගෑස් ගන්න ලෝකයේ දර්ශක තියෙනවා. මිල ගණන් තියෙනවා. ඒ සඳහා ලෝකයේ පිළිගත් මිලක් තියෙනවා. ඔය කියන විදියට ගෑස් ඒකාධිකාරයක් කාටවත් දීල නැහැ. ඒ අවම මිලට ගන්න පුළුවන් විදියට ගිවිසුම සකස් කරල තියෙනවා.  සංචාරක ව්‍යාපාරයටත් විරුද්ධයි, ආයෝජනවලටත් විරුද්ධයි,ආදායම් මාර්ග එන එකටත් විරුද්ධයි. අද අපට ලෝකයේ ඕන රටකට ගිහිල්ලා ගෙවල් ගන්න පුළුවන්, රැකියා කරන්න පුළුවන්, ඡන්දය ඉල්ලන්න පුළුවන්, පුරවැසිකම ගන්න පුළුවන්. ඒත් ඇමෙරිකාවේ, එංගලන්තයේ කාටවත් මෙහෙ ඇවිත් මුකුත් කරන්න බැහැ. ජාතික සම්පත් විකුණනවා කියලා බොරු කියන්නේ නැතුව අපට අනිකුත් රටවල් ලබාදී ඇති අවස්ථාව ඒ රටවල අයටත් ලබාදෙන්න ඕන. එතකොට තමයි අපට විදේශ විනිමය එන්නේ. කවුරු කෑගැසුවත් අපි ජාත්‍යන්තර සමඟ වැඩ කරන්න ඕන. එහෙම නැතුව අපට ගමනක් යන්න බැහැ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles