Thursday, March 28, 2024

ආසියා සත් සාමාජික රග්බි ශ්‍රී ලංකාවට 6 වැනි තැන

ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතා අවසන් මහා තරගයේදී විදේශ ක්‍රීඩකයන්ගෙන් සමන්විත සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ ලකුණු 29-10කින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා පිලට 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු විය. පිරිමි තරගාවලියට සමගාමීව පැවැති කාන්තා තරගාවලියේ ද ශ්‍රී ලංකා පිල 6 වැනි ස්ථානයට පත් විය. කාන්තා තරග අංශයේ පළඟ ශූරතා අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 45-0කින් තායිලන්තය හමුවේ පරාජයට පත් වූහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී පසුගියදා නිමාවට පත් වූ මේ තරගාවලිය ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන සත්සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුස්සන් තෝරාගන්නා තරගාවලියක් බවට ද පත්වී තිබිණි. ඒ අනුව මෙවර තරගාවලියේ පිරිමි තරග අංශයේ කුසලානය ජයගත් හොංකොං සහ අනු ශූර දකුණු කොරියාව සමඟ කාන්තා තරග අංශයේ කුසලානය දිනූ ජපානය සහ අනුශූර චීනය ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගත්හ. පිරිමි තරග අංශයේ අවසන් මහා තරගයේදී ලකුණු 33-7කින් හොංකොං පිල පරාජය කිරීමට දකුණු කොරියාව සමත් වූ අතර, කාන්තා තරග අංශයේ කුසලානය ජපානය ජයගත්තේ ලකුණු 14-12කින් චීනය පරාජය කරමිනි.

අදීෂ වීරතුංගගේ නායකත්වය යටතේ යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතව තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී ජපානය හමුවේ ලකුණු 31-14කින් පරාජය වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ ලකුණු 29-7කින් පරාජයට පත් විය. මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගයෙන් චීනයට පරාජය වූයේ ලකුණු 32-0කිනි. ශ්‍රී ලංකා පිල පළඟ ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ලකුණු 28-26කින් පිලිපීනය පරාජය කරමිනි. එම තරගයේ පළමු භාගයේදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ අංජුල හෙට්ටිආරච්චි උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුණි.

කාන්තා තරගාවලියේ මූලික වටයේ සිය පළමු තරගයෙන් මැලේසියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. නායිකා දුලානි පල්ලිකොන්දගේ සහ නිමේෂා විජේවර්ධන උත්සාහක දිනුම් වාර්තා කළහ. මූලික වටයේ දෙවැනි තරගයෙන් චීනය හමුවේ ලකුණු 47-0ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් තරගයෙන් ලකුණු 38-5ක් ලෙස හොංකොං පිලට පරාජය විය.

ඒ අනුව පළඟ ශුරතා අවසන් පූර්ව වටයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පිලිපීනය ලකුණු 19-15කින් පරාජය කරමින් අවසන් තරගයට එක් වූහ. එම තරගයේදී නායිකා දුලානි පල්ලිකොන්දගේ උත්සාහක දිනුම් 2ක් තැබූ අතර, අනූෂා අත්තනායක එක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවාය.

නිල්ෆර් ඉබ්‍රාහිම් පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, සාලිය කුමාර කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් කටයුතු කළ අතර, ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පුහුණු අධ්‍යක්ෂ ලෙස එංගලන්ත ජාතික බෙන් ගොලින්ස් කටයුතු කළේය. අවසන් තරග නැරඹීමට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ද එක් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles