Thursday, April 25, 2024

ඉන්දියාවෙන් ණය ආධාර ලබාදීමේදී එකඟවූ ගිවිසුම් මොනවාදැයි වහා රටට හෙළි කරන්න

ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් 3ක් පිළිබඳව වහාම ජනතාවට හා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයක් වශයෙන් ලබා ගැනීමේදී අත්සන් කරන ලද ගිවිසුම මෙතෙක් රටට අනාවරණ කර නොමැති බව උන් වහන්සේ පෙන්වා දෙති.

අදාළ ගිවිසුම් අත්සන් කරන බවට ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත කරුණු අනාවරණ කර ඇති බව උන්වහන්සේ සිය ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත විශේෂයෙන් දැනුම් දී තිබිණි.

අදාළ ලිපිය පෙබරවාරි මස 23 වන දා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ වෙබ් අඩවියේ පළ කර ඇති අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් පෙබරවාරි මාසයේ නිරත වූ දෙවන ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අදාළ ලිපිය සම්පාදනය කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ, අදාළ සංචාරයේදී ආහාර, ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 1ක ණය මුදල පිළිබඳව අවධානයට ලක්වන අතර, දෙරට අතර ආරක්ෂාව සම්බන්ධ ගිවිසුම් තුනක් සහ සමුද්‍රීය ආරක්ෂාව සඳහා සහයෝගිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන විධිවිධාන තුනක් අවසන් කිරීමට ආසන්න බව ය.

තව ද ඩෝනියර් ගුවන් යානා දෙකක් මිල දී ගැනීම සහ ශ්‍රී ලංකාව විසින් ටොන් 4,000ක නාවික පාවෙන තටාකයක් අත්පත් කර ගැනීමේ ගිවිසුම්වලට අමතරව, ගුරුග්‍රාම්හි පිහිටි ඉන්දීය නාවික හමුදාවේ තොරතුරු ඒකාබද්ධ මධ්‍යස්ථානය සඳහා (IFC-IOR) නාවික සම්බන්ධතා නිලධාරියෙකු පත් කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව ඒ පිළිබඳව තොරතුරු දන්නා පාර්ශව පවසන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත එම ලිපිය මගින් ප්‍රකාශ කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ, අදාළ මධ්‍යස්ථානය වෙළෙඳ නැව්ගත කිරීම් නිරීක්ෂණය කරන අතර කලාපීය මුහුදේ සමුද්‍රීය ත්‍රස්තවාදය සහ කොල්ලකෑම් වැනි තර්ජන නිරීක්ෂණය කරනු ලබන බවය.

ඒ අනුව, ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නිලධාරියා ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, මාලදිවයින, සිංගප්පූරුව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ඉන්දියාවේ හවුල්කාර රටවල් 10ක සගයන් සමග එක්වනු ඇති බව අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කරන්නේ,නාවික හමුදා පාවෙන තටාකය යනු, යුද්ධ නැව්වල ගුණාත්මකභාවය සහ අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතිවලින් සමන්විත පහසුකමක් බවය.

එවැනි නැව් තටාකවලට විශාල ප්‍රමාණයේ යුද්ධ නැව් හැසිරවීමේ හැකියාව ඇති අතර, නැව්වල සැලසුම්සහගත හෝ හදිසි අලුත්වැඩියාවක් සිදු කිරීම සඳහා ජැටියක් අසල නැංගුරම් ලා හෝ නිශ්චල ජලයේ නැංගුරම් ලා තැබීමට නිර්මාණය කර ඇතැයි අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

ප්‍රකාශකයින් කිහිප දෙනෙකු උපුටා දක්වමින් එම ලිපිය සඳහන් කරන්නේ, දෙරට අතර ඇති කර ගනු ලබන ආරක්ෂක සහයෝගීතාව මගින් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සඳහා ඉන්දියානු පහසුකම් සහ ආයතනවල පුහුණුව පුළුල් කිරීම ද සිදු වනු ඇති බව ය.

ශ්‍රී ලංකාව ඉන්දියාව විසින් පිරිනමනු ලබන හමුදා පුහුණු වැඩසටහන්වල විශාලතම ප්‍රතිලාභීන්ගෙන් එක් අයෙකු බව එම ලිපියේ තවදුරට ත් සඳහන් කර ඇත.

තවද ශ්‍රී ලංකාව හා චීනය අතර හිටි හැටියේ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති බවත් පෙන්වා දෙන උන් වහන්සේ සඳහන් කර සිටින්නේ, මුදල් සොච්චමක් වෙනුවෙන් උතුරු නැගෙනහිර හා රටේ වෙනත් පළාත්වල තිබෙන ජාතික සම්පත් කොල්ලකෑමට හෝ පාවා දීමට මග පාදන ඕනෑම කුමන්ත්‍රණයකට හෝ සැලැස්මකට එරෙහිව නැගී සිටීමට තමන් සුදානම් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles