Wednesday, April 24, 2024

රට ගොඩනගන වැඩපිළිවෙළක් සඳහා එජාපය දේශපාලන සංවිධාන 15ක් සමඟ සාකච්ඡා කරයි

දේශපාලන, ආර්ථික සහ සමාජ අභියෝග හමුවේ රට ගොඩනඟන වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් තවත් දේශපාලන පක්ෂ ඇතුළු සංවිධාන පහළොවක් සමඟ පසුගිය 15දා එක්සත් ජාතික පක්ෂය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡා පැවැත්වූ බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් රටේ සියලු බලවේග එකට ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස පැවැත්වුණු මෙම සාකච්ඡාවට පක්ෂ සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහත්වරුන්ද සහභාගි වූ අතර දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, ආගමික සහ විවිධ සම්භවයක් සහිත සංවිධානවල සාමාජිකයන් එක් වූ බවත් මහ ලේකම්වරයා කීය.

මෙම සාකච්ඡා වටයේ එක් හමුවක් පසුගිය 13 වැනිදා සවස එජාප මූලස්ථානය වන සිරිකොතේදී පැවැත්විණි. එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, ලේකම් රංගේ බණ්ඩාර සහ සාගල රත්නායක මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ලියාපදිංචි දේශපාලන පක්ෂ හා සංවිධාන පහළොවක නායකයන් ඇතුළු ප්‍රධානීන් සහභාගි වී ඇත.

වර්තමානයේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නායකත්වයක් එජාපය තුළ තිබෙන බව මෙම සාකච්ඡාවේ පක්ෂ නායකයන් හා නියෝජිතයන් අදහස් දක්වමින් ඒ සඳහා සුදුස්සා රනිල් වික්‍රමසිංහ බව බහුතරය ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම, ශ්‍රී ලංකා පාරම්පරික කලාකරුවන්ගේ සම්මේලනය, ජාතික මිතුරෝ, ජාතික ජනතා ව්‍යාපාරය, නව සම සමාජ පක්ෂය, ජාතික කලා පෙරමුණ, එක්සත් වෙළෙඳ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ 15ක නියෝජිතයන් සහභාගි වී ඇත. සහභාගි වූ පක්ෂ නායකයන් හා නියෝජිතයන් අතර ආචාර්ය සිරිමසිරි හපුආරච්චි, නීතිඥ සාමිලා පෙරේරා, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආරියවංශ දිසානායක, රාජා උස්වැටකෙයියාව, සුන්දරම් මහේන්ද්‍රන්, පරාක්‍රම විජේසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූ අය අතර වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles