Friday, March 29, 2024

ඖෂධ අධිකාරියේ හිස් පුටුවලට ගජ මිතුරන් ගේන්න වෑයමක්

ඖෂධ නියාමන අධිකාරි හිස් වූ තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත සුදුස්සන් මඟහැර ගජ මිතුරන් පත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් චෝදනා කරයි.

ලෝකයේම ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වනවිට ඒවා නියාමනය කරන ආයතන වැරැදි පීල්ලේ හෝ අයාලේ යනවා නම් එය සාමාන්‍ය මාෆියාවකට එහා ගිය තත්ත්වයක් බවද රවි කුමුදේශ් පෙන්වා දෙයි. තමන් කැමැති සමාගමකට වාසි සැලසෙන ආකාරයට නියාමන හා ලියාපදිංචි තීරණ ගැනීම වැඩි අවධානයට යොමු වන දූෂිත තත්ත්වය වුවත් වඩා දූෂිත ඖෂධ මාෆියාව වන්නේ තමන් අකැමැති සමාගමකට වෙළෙඳපොළට අවතීර්ණ වීමට ඇති ඉඩ වැළැක්වීම බවද හෙතෙම පෙන්වා දෙයි. ඉන් අපේක්ෂා කරන්නේ තමන් කැමැති සමාගමේ තරගකාරීත්වය නැති කොට ඒකාධිකාරීත්වයක් සකසා දීම බවද ඔහු අවධාරණය කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙසේද පවසයි.

“ලංකාව දැනට එන්නත් මිලියන 22ක් විතර ගෙන්නලා තිබෙනවා. මිලියන 17ක් විතර ගෙන්නවලා තියෙන්නේ සයිනෝෆාම්. සයිනෝෆාම්වල අමාත්‍ය මණ්ඩලය අනුමත කරපු අපි දන්න මිල ඩොලර් 15ක් විතර වෙනවා. ලෝකයේ තියෙන එන්නත් මිල පරීක්ෂාවේදී අපිට පේන්නේ අනිත් එන්නත් සියල්ලේ විකුණුම් මිල ඩෙලර් 5-10 අතර මිලක් වෙනවා. ඒ අනුව අපි එන්නතක් ඩොලර් 12ක් විතර වියදම් කරලා තියෙනවා.

අපේ රටේ ඔෟෂධ මාෆියාව සහ ඒක නියාමනය කරන්න ඉන්න ඔෟෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වයේ එක පැතිකඩක් තේරුම් ගන්න මේ ගණන් ටික වැදගත්. ඒ අතරේ ලංකාවේ දේශීය ආයතනයක් කියනවා අපිට රට තුළ ඩොලර් 6-7ක මිලකට එන්නතක් නිපදවිය හැකියි කියලා. රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා මිල ගණන්වලට විකිණෙන ටොසිලිසුමාබ් වැනි ඔෟෂධ රුපියල් 40,000ක වැනි මිලකට ලබාදිය හැකි බව. නමුත් ඔවුනට ඔෟෂධ නියාමන අධිකාරියේ අවසරය ලබාදීම වුවමනාවෙන්ම වළක්වලා තියෙන බවට ඔවුන් චෝදනා කරනවා.

අපි එන්නත් මිලියන 22ක් පමණ ගෙන්වලා තියෙනවා. දළ වශයෙන් ඩොලර් මිලියන 260ක් විතර මුදලක් රටක් විදිහට වැය කරලා ඇති. රට තුළ නිපදවනවා නම් ඩොලර් මිලියන 150ක් විතර වැයවේවි. එන්නතෙන් විතරක් ඩොලර් මිලියන 100ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 20ක් ඉතුරු කරන්න පුළුවන්. අවම වශයෙන් අනාගතය සඳහා හෝ එම දේශීය සමාගම්වලට අවස්ථාව නොදීමට හේතුව අපි හොයන්න ඕනේ ඒ නිසා.

ලෝකයේම ඔෟෂධ මාෆියාවක් තියෙන බව අපි දන්නවා. නමුත් ඒවා නියාමනය කරන්න ඉන්න ආයතනය වැරැදි පීල්ලේ හෝ අයාලේ යනවා නම් ඒක සාමාන්‍ය මාෆියාවකට එහා ගිය තත්ත්වයක්. තමන් කැමැති සමාගමකට වාසි සැලසෙන විදිහට නියාමන හා ලියාපදිංචි තීරණ ගන්න එක තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන දූෂිත තත්ත්වය. නමුත් ඊට වඩා දූෂිත ඔෟෂධ මාෆියාවක්, තමන් අකැමැති සමාගමකට වෙළෙඳපොළට අවතීර්ණ වීමට ඇති ඉඩ වැළැක්වීම හරහා සිදු වෙනවා. එහි අපේක්ෂාව වෙන්නේ තමන් කැමැති සමාගමේ තරගකාරීත්වය නැති කොට ඒකාධිකාරීත්වයක් හදලා දෙන එක.

ලංකාවේ ඔෟෂධ නිෂ්පාදනය නියාමනය හා බෙදාහැරීම සඳහා ඉතිහාසයේ ප්‍රථමවතාවට වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. නමුත් ඒ අපේක්ෂාව ඉටු වෙලාද කියල හැරිලා බලන්න කාලය හරි. 2018 වර්ෂයේදී රට තුළ ඔෟෂධ නිෂ්පාදනයට ආයතන 38ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ගිවිසුම්ගත වෙනවා. ඊට පස්සේ එකම එක සමාගමක්වත් මේ ක්‍රියාවලියට අවතීරණ කරගන්න රාජ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියෙනවා. නමුත් එකතුවුණු සමාගම් වසා දැමීමට හෝ වැසී යන තත්ත්වයට පත් කරන්න වැඩ කටයුතු සිදු වෙලා තියෙනවා. අද වනවිටත් ගිවිසුම් ගත වෙච්ච සමාගම් 38න් දහයකටවත් ඔෟෂධ නිපදවන්න ඉඩ දීලා නැහැ.

ඔෟෂධ නියාමාන අධිකාරියට නිලධාරීන් පත් කරන බලය තියෙන්නේ කැබිනට් අමාත්‍යවරයාට. නමුත් එහි සභාපතිවරයා පත් කිරීමේදී එවකට හිටපු සෞඛ්‍ය ඇමැතිනිය මොකුත්ම ඒ ගැන දැනගෙන හිටියද කියන එක අපි ප්‍රශ්න කරනවා. පසුගිය සතියේ ඔෟෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට ඉල්ලුම්පත් කැඳෙව්වා. ජෞෂ්ඨ වෛද්‍ය නිලධාරීන් 9ක් ඉල්ලුම් කළා. ඉන් 4 දෙනෙක් සම්මුඛ පරීක්ෂණයෙන් තෝරගත් බව වාර්තා වෙනවා. ඒ හැමෝම සභාපතිවරයාට වඩා සුදුසුකම් තියෙන පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තනතුරුවලට සුදුසු අය ඕනෑ තරම් සිටියදී නුසුදුස්සන් පත් වන බවට මේක හොඳ සාක්ෂියක්. නමුත් අපිට වාර්තා වෙනවා ඒ හතරදෙනාම මඟ හැරලා ගජ මිතුරෝ පත් කරගන්න යනවා කියලා.

මේ තනතුරුවල වගකීම තියෙන්නේ කැබිනට් ඇමැතිවරයාට. රාජ්‍ය ඇමතිවරයාට එම වගකීම නැහැ. ඒ නිසා අපි කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් ඉල්ලනවා සෞඛ්‍ය ඇමැතිවරයාගේ පෞරුෂය රූකඩයක් කරවන්න දෙන්න එපා. මේ ක්‍රියාවලියට පාලනය කරන්න සෞඛ්‍ය අසමත් වුණොත් එහි ප්‍රධාන චෝදනාව එන්නේ ඔබට බව මතක තියාගෙන වැඩ කරන්න.”

මව්බිම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles