Friday, March 29, 2024

කනිෂ්ට නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් මැදිහත් වෙයි

කනිෂ්ට නිලධාරීන්ගේ වෘත්තීයට බලපාන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපති වෘත්තීය සමිති සබඳතා පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා හා ශ්‍රී ලංකා රාජ්‍ය කනිෂ්ට සේවකයින්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණි.

මෙහිදී කනිෂ්ට නිලධාරීන්ට දීර්ඝ කාලයක සිට පවතින ගැටලු පිළිබඳව ඉතා පුළුල් ලෙස සාකච්ඡා කළේය. ඒ අනුව බහුකාර්ය සංවර්ධන සහායක ලෙස සේවයට බඳවා ගත් පිරිස කනිෂ්ට ⁣නිලධාරී ව්‍යවස්ථා සංග්‍රහයට ඇතුළත් කර ඔවුන් සේවයේ ස්ථිර කිරීම, කළමනාකරණ සේවා තරඟ විභාගය සමත් කනිෂ්ට සේවා නිලධාරීන් සියලු දෙනාටම රාජ්‍ය කළමනාකරණ නිලධාරී පත් වීම් ලබාදීම, දැනට භාවිතා කරනු ලබන කනිෂ්ට නිලධාරී තනතුරු නාමය වර්තමානයට උචිත අයුරින් සංශෝධනය කිරීම, උසස් වීම් කාර්යය පටිපාටිය සංශෝධනය කිරීම, ශ්‍රේණි තුන සඳහාම නිල ඇඳුම් දීමනාව ලබාදීම, තාවකාලිකව නවතා දමා ඇති විශේෂ කාර්යය සාධක ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීම ඇතුළු රාජ්‍ය කනිෂ්ට නිලධාරීන්ගේ වෘත්තීයට බලපාන විශේෂ ගැටලු රාශියක් පිළිබඳව සමන් රත්නප්‍රිය මහතාගේ අවධානය යොමු කෙරුණි.

මෙම ගැටලු පිළිබඳව තමාගේ විශේෂ අවධානය යොමු කරමින්, ජනාධිපතිතුමාගේ සහ අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර, කනිෂ්ට නිලධාරීන්ට බලපාන ගැටලු සඳහා සාධනීය පිළිතුරු කඩිනමින් ලබාදෙන බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය කනිෂ්ට නිලධාරීන්ගේ වෘත්තීය සමිති ප්‍රධාන ලේකම් හා කැදවුම්කරු ඩබ්ලිව්. එම්. එන්. රංජිත් කුමාර, සභාපති ගාමිණී තෙන්නකෝන්, ජ්‍යේෂ්ඨ ලේකම් සුගත් සමන් කුමාර, ජ්‍යේෂ්ඨ සභාපති රෝහණ දිසානායක මහත්වරු ඇතුළු එම සමිතියේ නියෝජිත පිරිසක් එක්වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles