Friday, March 29, 2024

කැළණි ගඟට කෙලවුණාට කමක් නැද්ද?

කැළණි ගඟට කෙලවෙන්නට යන බව බොහොමයක් පරිසරවේදීන්, මාධ්‍යය සහ ජනතාව කිව්වේ අද ඊයෙක පටන් නොවේය. කාලාන්තරයක් තිස්සේ කැළණි ගඟේ දුක කියන ඛේදාන්තය කූටප්‍රාප්තියට පැමිණ ඇත. පසුගියදා කොකා කෝලා සමාගම කැළණි ගඟට රසායනික අපද්‍රව්‍ය මුදාහරින බවට පලවූ පුවත සමග අදාල සමාගමේ බලපත්‍ර තාවකාලිකව නතරකර නිෂ්පාදනය නතර කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සහ ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය මැදිහත්වීමෙන් සිදුවිය. එහෙත් වැඩිකල් එසේ ඉන්නට නොලැබුණි නැවත කොකා කෝලා වැඩ පටන්ගෙන ඇති අතර පුරුදු පරිදිම නැවත කැළණි ගඟට අපද්‍රව්‍ය හෙලීම ආරම්භකර ඇත. මේ පිළිබද මහත් සංවේගයෙන් සහ ආවේගශීලීව අදහස් දැක්වූයේ ශ්‍රී ලංකාවේ පරිසරය රැකගැනීම තමන්ගේ වගකීමක් ලෙසින් සිතා මහත් වෙරවීරියක් ගන්නා පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මහතාය.

“අපි කාලාන්තරයක් තිස්සේ කරන ලද විමර්ශණවල ප්‍රතිඵලයක් විදියට මේ කැළණි ගඟට කොකා කෝලා සමාගම අපද්‍රව්‍ය නිකුත් කිරීම ගැන සාක්ෂි සහිතව ඔප්පු කරන්නට පුළුවන් වුනා. ඒ අනුව සිදුකල බලපෑම මත තමයි පරිසර අධිකාරිය මැදිහත්වෙලා අදාල සමාගමේ බලපත්‍රය තාවකාලිකව නතර කලේ..ඒත් ආයෙත් ඒ බලපත්‍රය ඔවුන්ට ලැබිලා..“

මහත් සංවේගයෙන් ඒ අදහස් දැක්වූ රවීන්ද්‍රගෙන් අපි විමසා සිටියේ එසේ නැවත බලපත්‍රය ලබාදෙන්නට හේතුවයි. එසේ බලපත්‍රය ලබාදීමටනම් කැළණි ගගට විස මුසුකිරීම නතර කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් කොකා කෝලා සමාගම ක්‍රියාත්මක කර ඇත්ද කියා අපි විමසුවා.

“නෑ කිසිසේත්ම නෑ…පරණ පුරුදු විදියටම වැඩේ වෙනවා..පරිසර අධිකාරිය කියන්නේ කොකා කෝලා සමාගම වැරැද්ද පිළිගන්නවා..ඔවුන් ඒක නිවැරදි කරගන්න සූදානම් නිසා බලපත්‍රය නැවත ලබාදුන්නා කියලා..ඒත් අපිටනම් එහෙම දෙයක් පේන්න නෑ..අඩුම තරමින් නිකුත්කරපු වස වලටවත් පියවරක් ගන්න ඉදිරිපත්වෙලා නෑ..“

පරිසර අධ්‍යයන මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව කැළණි ගඟේ ජලය අඹතලේ පිරිපහදු මධ්‍යස්ථානය හරහා පමණක් භාවිතා කරන පවුල් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ඇති බවයි. එසේම කැළණි ගඟට කොකා කෝලා වගේම තවත් ආයතන 150කට ආසන්න ප්‍රමාණයක් අප ද්‍රව්‍ය නිකුත් කරනවා. නමුත් ඒවට පියවරක් ගන්නත් පරිසර බලධාරින් ඉදිරිපත් වෙලා නෑ.

“පරිසර ඇමතිතුමා ජනාධිපතිතුමා, නමුත් එතුමන් තාමත් මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙලා නෑ..බලධාරීන් මේකට පස්ස ගහන නිසා තමයි අපි මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගියදා ගිහින් මේකට පැමිණිල්ලක් ගොනු කලේ..ඒකෙදි මානව හිමිකම් කොමිෂන් සභාව පැහැදිලිවම පිළිගන්නවා ලැබිලා තියන වාර්තා අනුව කොකා කෝලා සමාගම සත්‍ය ලෙසම කැළණි ගගට විෂ අපද්‍රව්‍ය එකතු කරනවා කියලා..ඒ වගේම අපේ සංවිධානයෙන් වගේම පරිසර අධිකාරියෙනුත් මේක ගැන වාර්තාවක් ඉල්ලා සිටියා. අපි අපේ වාර්තාව කොමිෂන් සභාවට ඉදිරිපත් කරත් තාමත් පරිසර අධිකාරිය ඉදිරිපත් කරලා නෑ..බලධාරීන් මීට වඩා වගකීමෙන් මේ ප්‍රශ්නයට මැදිහත් වුනේ නැත්නම් ලක්ෂ ගණනාවක් ජීවිත අනතුරේ.“

රවින්ද්‍ර එහෙම කියද්දි අපිට මතක් වෙන්නේ මේ රටේ සුපිරිසිදු ජල සම්පත විනාස කරන මිනිස්සුන්ට ආයතනවලට එරෙහිව පියවරක් ගන්න ඇයි පාලන අධිකාරි මෙච්චර බය කියලා. එක්කෝ ඒ සමාගම් වලින් මේ රාජ්‍ය ආයතන වලට සල්ලි ලැබෙනවද? මේ වගේ ප්‍රශ්නත් අහන එක සාධාරණයි. කොහොම වුනත් පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සහ පිරිසිදු ජල අයිතිය උදෙසාවන ජනතා ව්‍යාපාරයක් කැළණි ගඟ බේරගන්න තමා මර යුද්ධයක පැටලිලා ඉන්නවා..

අපි පුරුද්දට මහවැලි – කැළණි – කළු – වලවේ යන ගංඟා..සමනල කන්ද මුදුනේ සිට පැන නැංඟා කියන කවි පදයේ කැළණි ගඟේ නම අපවිත්‍ර නොවෙන්න බේරගන්න අපිටත් වගකීමක් තියනවා..

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles