Friday, April 19, 2024

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ ගැසට්ටුව ගැසුවේ බහිරවයද?වැරැද්දක් කර නොමැති බැවින් තමන් ඉවත් කළ නොහැකියි – පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජයකොඩිආරච්චිගේ සුමිත් මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය ඊයේ නිවේදනය කළා.

වසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිෆොසෙට් ඇතුලූ පළිබෝධනාශක වර්ග 05 ක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා දන්වා සිටින්නේ.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කර ඇති 2021 නොවැම්බර් 22 දිනැති ගැසට් නිවේදනය බල රහිත කරන බවත් ඒ අනුව ග්ලයිෆොසෙට් ඇතුලූ පළිබෝධනාශක වර්ග 05 ක් ප්‍රදේශ කිහිපයක භාවිත කිරීම සහ වෙළඳාම තහනම් කරමින් පනවා තිබූ නියෝගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනුම් දෙනවා.

ග්ලයිෆොසේට් ඇතුලූ පළිබෝධනාශක 05 ක් අනුරාධපුර – පොළොන්නරුව – කුරුණෑගල – මොණරාගල යන දිස්ත්‍රික් තුළ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය – රිදීමාලියැද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ භාවිතය සහ වෙළඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ 2014 වසරේ දෙසැම්බර් 22 වනදායි.

එම ගැසට් නිවේදනයයි පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අවලංගු කර ඇති බව දක්වමිනුයි ඊයේ දිනයේදී නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණේ.

නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ තම රෙජිස්ට‍්‍රාර්වරයා විසින් බවට එහි දක්වා ඇතත් ඔහු විසින් හෝ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් හෝ එවැන්නක් නිකුත් කර නොමැති බවත් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ කවුරුන්ද යන්න තම රෙජිස්ට‍්‍රාර් කාර්යාලයට තවමත් ප‍්‍රශ්නයක් බවත් නියෝජ්‍ය රෙජිස්ට‍්‍රාර්වරයා සඳහන් කළේය.

මේ අතර තමන් විසින් ඊයේ දිනයේදී නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කළේ 2018 වසරේදී එවකට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජයකොඩිආරච්චිගේ සුමිත් මහතා කියා සිටියා.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ යම් ප්‍රමාදයක් හේතුවෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාදවී තිබූ බවද ඔහු සඳහන් කළා.

තමන් නීත්‍යනුකූල නොවන කිසිඳු ක්‍රියාවක් සිදුකර නොමැති බැවින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධූරයෙන් තමන්ව ඉවත් කිරීමට කෘෂිකර්ම අමාතයංශයට කිසිදු බලයක් නොමැති බවද ජයකොඩිආරච්චිගේ සුමිත් මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

නැවත ග්ලයිෆොසෙට් තහනම පැනවීමේ ගැසට් නිවේදනය කරන බව පැවසූ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“අපේ රජය පරිසර හිතකාමී කෘෂිකර්මය පිළිබඳ තීරණයක් ගෙන තිබෙනවා. එසේ තිබියදී පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්වරයා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා. මේක සම්පූර්ණ නීති විරෝධී කි‍්‍රයාවක්. ඒ නිසා එම පුද්ගලයා ඊයේම එම තනතුරෙන් ඉවත් කළා. ඒ වගේම ග්ලයිෆොසෙට් තහනම නැවත පනවන්නත් උපදෙස් දුන්නා.

මේ පුද්ගලයා මීට කලිනුත් රසායනික පොහොර ගෙන්වන සමාගමකට අවශ්‍ය පරිදි කෘමිනාශක ගෙන්වලා. ඒ ගැනත් විනය පරීක්‍ෂණ කි‍්‍රයාත්මක වෙනවා. ඔහු එක සමාගමකට පක්‍ෂව කැබිනට් පති‍්‍රකා තොරතුරු එවලා තිබෙන අයෙක්. මේ පුද්ගලයා තනතුරෙන් මේ වන විට ඉවත් කර තිබෙනවා.”

ග්ලයිෆොසෙට් වල් නාශකය ඇතුළු මිනිස් සෞඛ්‍යයට දැඩිව බලපාන බව කියන තවත් පළිබෝධ නාශක හතරක් තහනම ඉවත් කරමින් තම ආයතනය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති බව පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ නියෝජ්‍ය රෙජිස්ට‍්‍රාර් ලසන්ත රත්නවීර මහතා ප‍්‍රකාශ කළේය.

නොවැම්බර් 22 වැනිදා නිකුත් කර ඇති අංක 2255/5 දරන ගැසට් නිවේදනය පිළිබඳව අප කළ විමසීමේදී ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

කෙසේ හෝ නියෝජ්‍ය පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්වරයා විශ්වාසය පළ කළේ එම තහනම් ලැයිස්තුවේ ඇති රසායනිකයක් තහනම ලිහිල් කිරීමට අදාළව ඊට පෙර පැරණි ගැසට් නිවේදනය පරිච්චින්න කිරීමේ නීතිපති දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාදාමයට අනුව මෙම පටලැවිල්ල සිදුවන්නට ඇති බවයි.

මෙි අතර පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධූරයෙන් ඉවත් කළ ආචාර්ය ජේ.ඒ. සුමිත් කෘෂිකර්ම අමාත්‍යංශයේ වෙනත් තනතුරකට පත් කර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles