Thursday, April 25, 2024

ගිය සතියේ දී කොටස් වෙළෙඳපොළට රු. බිලියන 200 ක් අහිමිවෙයි

පසුගිය සතිය තුළ දී කොළළ කොටස් වෙළෙඳපොළේ දක්නට ලැබුණු සීඝ්‍ර කඩා වැටීම හමුවේ ‌සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 201.16 කින් පහළ ගොස් තිබේ.

2021 සැප්තැම්බර් 03 වනදායින් අවසන් වූ සතිය තුළ දී මෙරට ‌කොටස් වෙළෙඳපොළේ වටිනාකම හෙවත් වෙලෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 4,151.62 ක් ලෙසින් වාර්තා වුණි.

කෙසේ වෙතත් මෙම වටිනාකම 2021 සැප්තැම්බර් 10 දිනෙන් අවසන් සතිය තුළ දී රු. බිලියන 3,950.46 ක් දක්වා පහත‌ ගොස් ඇත.

පසුගිය සතියේ දක්නට ලැබුණු කැපී පෙනන සිදුවීමක් වූයේ විදේශීය මිල දී ගැනීම් හි වර්ධනයක් හා විදේශීය විකුණුම් හි පහළ යාමක් වාර්තා වීමයි. මෙහිදී සතිය තුළ දී රු. බිලියන 1.06 ක විදේශීය මිල දී ගැනීම් වාර්තා වූ අතර ඊට පෙර සතිය තුළ එම අගය රු. මිලියන 490.45 ක් විය. එසේම පසුගිය සතියේ විදේශීය විකුණුම් රු. බිලියන 1.72 ක් ලෙස වාර්තා වූයේ ඊය පෙර සතියේ දී අදාළ වටිනාකම රු. බිලියන 3.86 ක් ලෙසින් සටහන් ව තිබූ පසුබිමකය.

මේ අතර ගෙවී ගිය සතිය තුළ කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,316.65 සිට ඒකක 8,865.30 ක් දක්වා ඒකක 451.35 කින්, එනම් 4.84%කින් පහළ ගොස් තිබුණි.

සමස්තයක් ලෙස ගත් කළ 2021 වසරේ සැප්තැම්බර් 10 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී 30.87% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනය වී තිබේ.

සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.

2021 අගෝස්තු 31 දින කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 4 සීමාව  ඉක්මවා යන ලදී. එදින ගනුදෙනු අවසානයේ දී සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 4.00 ක් හෙවත් රු. බිලියන 4,009.50 ක් ලෙසින් සටහන්ව තිබුණි.

Ada Derana Biz

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles