Saturday, April 20, 2024

ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව එහි ගෑස් සංයුතිය වෙනස් කිරීම – තුෂාන් ගුණවර්ධන

ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව එහි ගෑස් සංයුතිය වෙනස් කිරීම යැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකාව වැනි උණුසුම් දේශගුණයක් ඇති රටක ගෘහස්ත ගෑස් සිලින්ඩරවල තිබිය යුත්තේ ප්‍රොපේන් වායුව අඩුවෙන් වුවත් පසුගිය සමයේ එම සංයුතිය සියයට පණහ පණහ වන පරිදි වැඩි කිරීම හේතුවෙන් සිලින්ඩර තුළ පීඩනය වැඩි වී සිලින්ඩර පුපුරා යන බව ද ගුණවර්ධන මහතා කීය.

බියුටේන් සියයට අසූවක් හා ප්‍රොපේන් සියයට 20 වශයෙන් පැවැති ගැස් සිලින්ඩර සංයුතිය ගෑස් සමාගම් විසින් සියයට පණහ පණහ ලෙස වෙනස් කළ අවස්ථාවේ තමන් ඊට විරුද්ධ වූ බවත් එය භයානක තිරණයක් බව පෙන්වමින් තමන් ඉකුත් ජුනි 26 වැනිදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යැවූ බවත් හෙතෙම කියා සිටියේය.

විශේෂයෙන් ප්‍රොපේන් වායුව බියුටේන් වායුවට වඩා සිව් ගුණයකින් පීඩනය වැඩි බව පෙන්වා දුන් ඔහු වර්තමානයේ ගෑස් සිලින්ඩරවල පවතින සංයුතිය ශීත රටවල පවතින සංයුතිය යැයි ද පැවැසීය.

ගෑස් සමාගම හිටි අඩියේ මෙම සංයුතිය වෙනස් කිරීම සිදුකරන ලද්දේ කිසිදු විශේෂඥ මතයක් විමසීමකින් තොරව බවත් ඒ අවස්ථාවේ තමන් එම සංයුතිය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ මතය විමසා මෙසේ අමාත්‍යවරයා වෙත ලියා යැවූ නමුත් ඔවුන් එය පිළිනොගත් බවත් ගුණවර්ධන මහතා කීය.

මේ වැරදි තීරණ නිසා දැන් ගෑස් පාරිභෝගිකයින් පීඩාවට පත්ව ඇති බැවින් හා ඔවුන්ගේ ආරක්ෂාව සපයා ගත යුතු බැවින් ඉක්මණින් ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කරන්නට පියවර ගත යුතුව ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles