Thursday, April 25, 2024

ජනතාව වෙනුවෙන් ගනු ලබන තීන්දු ආපස්සට හරවනවා නම් තනතුරු අතහැර සටන් කරනවා – රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

ජනතාව, ආගමික නායකයින්ගේ ඉල්ලීම් අනුව මුතුරාජවෙල නව ගැසට්ටුව අවලංගු කිරීමට ගත් තීන්දුව කිසියම් පාර්ශවයක් විසින් ආපස්සට හැරවීමට උත්සහ කරන්නේ නම් තනතුරු වරප්‍රසාද අතහැර ජනතාව සමග එක්ව සටන් කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. 


රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (01) දින මීගමුව පැවති උත්සවයකට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,


“මුතුරාජවෙල නව ගැසට්ටුව මගින් ඉඩම් පවරා ගැනීම පිළිබඳව පරිසර අමාත්‍යතුමා, වනජීවී අමාත්‍යතුමා, නාගරික සංවර්ධන අමාත්‍යතුමා හා මුදල් අමාත්‍යතුමා සමන්විත පාර්ලිමේන්තු කමිටුවකින් තීන්දුවක් ගත්තා මුතුරාජවෙල තිබුණු හෙක්ටයාර් 1,447 තියලා අලුතින් ගහපු ගැසට්ටුව අවලංගු කරන්න. තවත් තීන්දුවක් ගත්තා ජනාධිපතිතුමා විසින් පත් කරපු වත්තල, ජා ඇල, කටාන, මීගමුව සම්බන්ධීකරණ කමිටුවලදී මුතුරාජවෙල සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ගැන සාකච්ජා කරලා සම්මත කරලා එවන්න. 


ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා වගේම නලින් ප්‍රනාන්දු මහතා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු අපේ මන්ත්‍රීවරුන් කියලා තියෙනවා මුතුරාජවෙල නව ගැසට්ටුව මගින් නව පවරා ගැනීම් අවලංගු කරන්න කියලා. මේ වෙනකන් ඒ දේ සිදුවෙලා නැහැ කියලා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් කියනවා. 
ඒ නිසා පැහැදිළිව කියනවා අපි තනතුරු ආරක්ෂා කරන්න වැඩ කරන අය නෙමේ. ජනතාව වෙනුවෙන්, ආගමික නායකයින් වෙනුවෙන්, රට වෙනුවෙන් කරන ඉල්ලීමක් සමහර පාර්ශව ඇහුම්කන් දෙන්නෙ නැතිනම් ඒ අයට විරුද්ධව ජනතාව සමග පෙළ ගැසිලා, ඒ අය එලවනකම් තනතුරු අතහැරලා කටයුතු කරන්න. 


මුතුරාජවෙල පවරා ගැනීමට ගහපු නව ගැසට්ටුව වහාම අවලංගු කරන්න කියලා පැහැදිළිව කියනවා. මේ වෙනකොට ආසන හතරෙම සම්බන්ධීකරණ කමිටුවේ සියලු පාර්ශවයන් සම්බන්ධ වෙලා තීරණ අරන් ඉවරයි මේ ගැසට්ටුව අවලංගු කරන්න කියලා. කාටහරි එක්කෙනෙකුට දෙන්නෙකුට තමන්ගේ පටු ව්‍යාපාරික අරමුණු ඉටු කර ගන්න, කොමිස් මුදල් ගන්න ජනතාව වෙනුවෙන් ගනු ලබන තීන්දු ආපස්සට හරවන්න හදනවනම් මේ තනතුරු, වරප්‍රසාද අතහැරලා ජනතාව එක්ක හිටගෙන සටන් කරනවා කියන එක පැහැදිළිව කියන්න ඕනේ.  
දැනට රට තුළ ඇතිවී තිබෙන ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට රජයක් විදියට කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රශ්න විසදීමට කණ්ඩායමක් විදියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදෙනවා.  


ගොඩක් ප්‍රශ්නවලට හේතුවෙලා තියෙන්නේ ඩොලර් නැති ප්‍රශ්නය. මේ ප්‍රශ්න විසදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට, වෙනත් මුල්‍ය සංවිධාන වෙත ගිහිල්ලා තාවකාලිකව මේ ප්‍රශ්නය විසද ගන්න ඕනේ. දීර්ඝ කාලීනව මේ ප්‍රශ්නය විසදීමට සංචාරක හා ආයෝජන අවස්ථා පුළුල් කර ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු ආණ්ඩුවක් විදියට ගෙන තිබෙනවා. ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසදීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා. 


ගෑස් ගැටලුව ගත්තම ගෑස් නැහැ වගේම මිනිස්සු පෝලීම්වල ඉන්නවා. මිනිස්සු රස්තියාදු වෙනවා. රස්තියාදු වෙලා අරන් ගියාම පිපිරීම් සිදු වෙනවා. ලිට්රෝ සභාපතිතුමා ප්‍රශ්නය විසදන්නේ නැතිව. මාධ්‍ය වෙත ඇවිල්ලා බයිලා ගහනවා. බයිලා ගහන්න දෙයක් නැහැ ගෑස් ටික නියමිත විදියට  සපයන්න ඕනේ. ඒ වගේම සපයන ගෑස් ප්‍රමිතියෙන් යුක්ත වෙන්න ඕනේ. එහෙම නැතිනම් තනතුර දාලා යන්න පුළුවන්. ගෑස් පිළිබඳව සභාපතිතුමා හිනා වෙවී මාධ්‍ය සාකච්ජා තියෙනවා. හිනාවෙන්න බැහැ. මිනිස්සු ගෙවල්වල ගිනි අරගෙන තියෙන්නෙ. මිනිස්සු විශාල ප්‍රශ්නයක ඉන්නේ. ජනතාවගේ ගෑස් ප්‍රශ්නෙ විසදන්න බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න. එහෙම නැතිනම් ගෙදර යවන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. සභාපතිතුමා ඇවිල්ලා එක එක දේවල් කියනවා. ජනතාවට ලොකු පොරොන්දුවක් දුන්නනේ පසුගිය දෙසැම්බර් අඩුවට ගෑස් දෙනවා කියලා. මාධ්‍යයට ඇවිත් එක එක කියනවා. හිනාවේවි මාධ්‍ය සාකච්ජා තියලා හරියන්නේ නැහැ. ජනතාවට බයක් සැකක් නැතිව පාවිච්චි කරන්න ගෑස් සපයන එක කරන්න ඕනේ.


මේ පත්වීම් කරද්දි සමහර තනතුරවලට මහජන නියෝජිතයෝ පත් කරන්න ඕනේ. මොකද ඒ අය ඡන්දයකට යන්න ඕන නිසා මහජනතාව ගැන විශාල උනන්දුවකින්, හැගීමකින් වැඩ කරනවා. එහෙම නැතිනම් රාජ්‍ය සේවකයෝ මේ සඳහා පත් කරන්න ඕනේ. එතකොට ඒ අයට විනය ක්‍රියාමාර්ග, සේවය අවසන් කිරීම් කරන්න පුළුවන්. පිටින් අයව පත් කළාම මහජනතාව පිළිබඳව කැක්කුමක් නැහැ. මහජනතාව ගැන කැක්කුමක් ඇති වෙන්නෙත් නැහැ. මේ අයට මේකෙන් අයින් වෙලා වෙන එකකට යන්නත් පුළුවන්. ඒ නිසා මේ පත් කිරීම් කරද්දි  ජනතාවට වගකියන කෙනෙක්. එහෙම නැතිනම් රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙක් පත් කරන්න ඕන කියන එක තමා මගේ මතය.


මොකද අපි දකිනවා සමහර ආයතනවලට කිසිම වගකීමක් ගන්නේ නැති, වගනොකියන අය පත් කරලා තියෙනවා. ඒ නිසානේ ලිට්රෝ සභාපති කියන්නේ පසුගිය අවුරුදු දෙක තුළ නීති විරෝධි ලෙස ගෑස් ගත්තා කියලා. මේක මාධ්‍යයට කියන්න දෙයක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් පැමිණිලි කරන්න තිබුණා. ඒකට විරුද්ධව කටයුතු කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැතිව රටේ ජනතාවට විහිලු සපයලා හරියන්නෙ නැහැ. වගකීම ඉටු කරන්න ඕනේ. එක එක්කනාට බොලේ පාස්කරලා හරියන්නෙ නැහැ. ලංකාගම පාර හදනකොට ප්‍රශ්නයක් ආවා. නුවර අධිවේගී මාර්ගය හදනකොට ගහක් පිළිබඳව ප්‍රශ්නයක් ආවා. අපි ඒකට මුහුණ දුන්නා. ජනතාවට කිව්වා. මාධ්‍යයට කිව්වා. එහෙම නැතිව ඉන්න කාටවත් වරද පටවන්න ගියෙ නැහැ. ඒ නිසා ලිට්රෝ සභාපතිට කියනවා ජනතාවට ගිනි සපයන්නෙ නැතිව. වගකීමක් ඇතිව කටයුතු කරන්න.”  යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles