Friday, March 29, 2024

ටොන් 65,000 කුළුබඩු අපනයනයෙන් කෝටි 10,300ක වාර්තාගත ආදායමක්

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 10,300ක වාර්තාගත ආදායමක් ඉපයීමට හැකි වූ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක ලින්දර මහතා පැවසීය. මේ ආදායම ගැනීම සඳහා අපනයනය කළ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් බව ද ඒ මහතා කීය. පේරාදෙණිය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී ලින්දර මහතා මේ බව ප්‍රකාශ කළේය. කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන පමණක් මෙට්‍රික් ටොන් 18,000ක් අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 45,000ක් උපයා ගැනීමට හැකි වූ බවත් යුරෝපය, අමෙරිකාව, ජපානය සහ මැදපෙරදිග රටවලින් ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා පවතින අධික ඉල්ලුම නිසා අදාළ ඉලක්ක සපුරා ගැනීමට හැකි වූ බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙරට නිෂ්පාදනය කළ හැකි කුළුබඩු වර්ග ආනයනය නතර කිරීමත් සමඟ එම බෝග ආශ්‍රිත වගා කටයුතුවලට අලුතින් පිරිස් එකතු වූ බවත් මේ ප්‍රබෝධය සමඟින් කුළුබඩු ආශ්‍රිත සැකසුම් මධ්‍යස්ථාන හෝ අපනයන ව්‍යාපාර ආරම්භ කිරීමට කවුරුන් හෝ අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා ආයෝජන ආධාර දීමේ වැඩපිළිවෙළක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

ඉඩම්වල ඵලදායිතාව වැඩි කර ගැනීමටත් වගා ඉඩම් අලුතින් ඇති කර ගැනීමටත් අවශ්‍ය උපදෙස් දීමට දෙපාර්තුමේන්තුව නිතර සූදානම් බව ද ඒ මහතා කීය.

දිනමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles