Friday, April 26, 2024

තෙල් නැව එනතුරා බලා ඉන්න එපා! සිපෙට්කෝත් බදු දෙන්න යයි…

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.

මෙහිදී ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම් මාස 6 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය ක්‍රමයකට ඉන්ධන ලබාගෙන සැපයීමෙන් ශ්‍රී ලංකාවට විදේශ මුදල් පිළිබඳව බරක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1190 එම සමාගම්වලට 200 බැගින් හෝ ලබාදිය හැකි නම් ඉන්ධන ගැටලුවට විසඳුමක් වියහැකි බව කී අමාත්‍ය විජේසේකර මහතා ඉන්දියන් ඔයිල් සමාගම තවත් පිරවුම්හල් 50 ක් හෝ අලුතෙන් පිරවුම්හල් ස්ථාපිත කිරීමට හෝ ඉල්ලා ඇති බව ද සඳහන් කළේය.

ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට හෙට (27) සිට පිරවුම්හලට අනන්‍ය වූ ටෝකන් පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මූල්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුවන තුරු යම් අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, භූමිතෙල් මිල සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණ ද මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇති බැවින් භූමිතෙල් නිකුත් නොකිරීම තුළ මිල සංශෝධනයකට නොගිය බවයි.

මේ අතර ඉන්ධන ආනයනය ඇතුළු තවත් සාකච්ඡා කිහිපයක් සඳහා අමාත්‍යවරුන් දෙදෙනක් හෙට රුසියාව බලා පිටත්ව යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles