Saturday, April 20, 2024

දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 07ක් ඇතුළත් ලිපියක් මෙරට ප්‍රධානතම වෛද්‍ය වෘත්තික සංගම් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව ඒකාබද්ධව එම ලිපිය ඉදිරිපත් කර තිබේ.

එම නිර්දේශ පහතින් දැක්වේ.

*ජනතාවගේ සංචරණයට දැඩි සීමා පැනවීම.
*දිස්ත්‍රික් අතර සංචරණ සීමා කිරීම.
*රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින් නිවෙස් තුළ හුදකලා කිරීම.
*නියුමෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් ආසන්නම රෝහල වෙත යොමු කිරීම.
*ප්‍රමාණවත් ආවරණයකින් යුත් නිසි එන්නත්කරණ ක්‍රියාවලියක් දියත් කිරීම.

මේ පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ, “මේ වන විට රෝගීන් සංඛ්‍යාව වැඩි වීම හා රෝහල්ගත කිරීමට ඇති අපහසුතාවයට කඩිනමින් විසඳුම් ලබාදිය යුතුයි. ඉදිරි සති කිහිපයේ දී මේ තත්ත්වය වැඩිවීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. මොන දත්ත ඉදිරිපත් කළ ද ඉතාම බරපතළ තත්ත්වයකට රට ගමන් කරනවා.“ යන්නය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ලොක් ඩවුන් කිරීම දේශපාලන තීරණයකට වඩා සෞඛ්‍ය අංශ මැදිහත්ව තීරණය කරන බවය.

ඒ සඳහා සෞඛ්‍ය අංශවලට අවශ්‍ය නිදහස ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකාවෙන් පළමු දේශීය කෝවිඩ් රෝගියා වාර්තා වුණු 2020 මාර්තු මස 11 වනදා සිට මිනුවන්ගොඩින් දෙවන රැල්ලේ නැගී ඒම වාර්තා වූ ඔක්තෝබර් 04 දක්වා, දින 207කදීම කෝවිඩ් වෛරසය වැළඳී මියගියේ 13 දෙනෙක් පමණය.

නමුත් මිනුවන්ගොඩ පොකුරෙන් ආරම්භ වුණ දෙවැනි රැල්ලේ මරණ සිදුවන වේගය පළවෙන රැල්ලට සාපේක්ෂව ඉහළ ගියේය.

ඒ අනුව දෙවන රැල්ල සක්‍රීයව පැවති 2020 ඔක්තෝබර් 04 සිට 2021 අප්‍රේල් 18 දක්වා ගතවුණු දින දින 196 ක් තුළ කෝවිඩ් මරණ මරණ 604ක් වාර්තා විය.

එසේ තිබියදී අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව මේ වනවිට තුන්වන කෝවිඩ් රැල්ල ආරම්භ වී දින 22ක් තරම් කෙටි කාලයක් ගතවෙලා තියෙද්දී කෝවිඩ් මරණ 169ක් වාර්තා වී ති‍බේ.

මේ අතර, කළුතර බෝඹුවල ප්‍රදේශයේ පුද්ගලයින් 100 දෙනෙකු සඳහා සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණ අතරින් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

එමෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් තවත් ආසාදිතයින් 48 දෙනෙකුද හඳුනාගත් අතර එම ආසාදිතයින් කළුතර දකුණ,කළුතර උතුර,නාගොඩ හා කටුකුරුන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

රත්නපුර මහනගර සභා සීමාවේ අංගම්මන ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට ප්‍රාදේශීය බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයක් ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගැනීමත් සමගය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනයේදී ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා ක්ෂේත්‍රෙය් මතුවී ඇති ගැටලු කිහිපයක් මුල්කරගනිමින් බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට රාජකාරිවලින් ඉවත්වී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles