Thursday, April 18, 2024

නාගරික සංවර්ධනයේ විප්ලවීය වසර පහක් – පාඨලී

“මම අතගහපු කිසිම අමාත්‍යාංශයක් අසාර්ථක උනේ නැහැ. භාරගත්ත සෑම අභියෝගයක්ම පරාජය උනෙත් නැහැ. මේ අවස්ථාවේදී අපට ලැබුණු අභියෝගය ජයග‍්‍රාහීය කෙළවර කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. එය සියළු දෙනාගේ ශක්තිය ඇතිව සිදු කළ යුත්තක්. කැලි කසල, වාහන තදබදය, දුගියන්ගෙන් තොර පිරිසිදු නගරයක් බවට පත් කර මේ රට සුහුරු සුමට රටක් බවට පත් කරන්න අපි කැපවිය යුතුයි“

 

නාගරික සංවර්ධන අධිකාරියේ සමස්ථ සේවක සේවිකාවන් පළමුවරට හමුවෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් දැක්වීය. මෙහිදී අමාත්‍යවරයා නව රජයේ අරමුණු, සැලසුම් හා මූලික අභිලාශයන් පිළිබඳ සේවක සේවිකාවන් දැනුවත් කිරීම අමාත්‍යවරයා විසින් සිදු කරන ලදි. මෙම විශේෂ හමුව ඊයේ (16) බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිපාලන සංකීර්ණයේ 7 වහන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප‍්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජනරාල් නයන මාවිල්මඩ යන මහත්වරුන් හා නිලධාරීන් ඇතුළු සමස්ථ සේවක පිරිස එක්ව සිටියහ.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා, ”නාගරික සංවර්ධනය නව යුගයකට පිවිස ඇති මොහොතක නාගරික සංවර්ධන අධිකාරියේ සියළු දෙනා එක පවුලක් ලෙස සූදානම් විය යුතු අවස්ථාවක්. මෙම ආයතනය අප රටේ ප‍්‍රධාන පෙලේ ආයතනයක් මෙන්ම බැබලෙන ආයතනයක් බවට පත් කරන්නට සියළු දෙනාම එක් විය යුතුයි. පසුගිය කාල පරිච්ෙඡ්දයේ විවිධ ආණ්ඩු යටතේ විවිධ ඇමතිවරු යටතේ විශාල වැඩ කොටසක් නාගරික සංවර්ධනය වෙනුවෙන් සිදු කරලා තියෙනවා. නමුත් අද අප ඉදිරියේ තිබෙන අභියෝගය ජය ගන්න නම් මීට වඩා බලගතු වැඩකොටසක් සිදු කල යුතුයි. පසුගිය කාලය තුළ අපි සතුටට පත්වුණා රටතුළ සිදුවෙච්ච නගර අලංකරණ කටයුතු නිසා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය අතීතයේදී කළ කාර්ය භාර්යය ගැන. ඒ අනුව අපි දැනගත යුතු දෙයක් තිබෙනවා. පසුගිය සමයේ අපි අතින් සිදුවෙච්ච අඩු පාඩු මොනවද කියලා. මෙහිදි අපි එකක් අවබෝධ කර ගන්න  ඕනේ. ජනතාවගේ කැමැත්තෙන් තොරව මොනම හොඳ වැඩක්වත් කරන්න බැහැ.  ඕනෑම සංවර්ධන කටයුත්තක් සිදු කිරීමේදී ජන සහභාගීත්වය අත්‍යවශ්‍යයි. ජන සහභාගීත්වය තිබුණොත් තමයි සැලසුම්කරණයත් සාර්ථක වෙන්නේ. අපේ සිතේ හොඳ සැලසුම් සහ බලාපොරොත්තු තිබුණත් වැඩක් නැහැ ජන සහභාගීත්වය නොතිබුණොත් අපි අසාර්ථක වෙනවා. උදාහරණයක් විදිහට පේ‍්‍රමදාස ජනාධිපතිතුමා සංවර්ධන කටයුතු සඳහා ඉතා හොඳ ජනාධිපතිවරයෙක්. එතුමා ඉතා පිරිසිදු සිතින් කජුගම නමින් තිබුණ ඒ ගම්මානය එතුමාට ඇති වූ හැ`ගීම නිසා ඉතාම හොඳ අදහසින් ඉතා වටිනා නිර්මාණයක් සිදු කළා කජුගම නමින්. නමුත් ඉතා කෙටි කලකින් එම ව්‍යාපෘතිය අසාර්ථක බව පෙණුනා. හොඳ අදහසින් මෙන්ම එම සංවර්ධන කටයුුතු සඳහා රාජ්‍ය අරමුදල් වියදම් කළත් මහජනයාගේ අකමැත්ත මත සිදු වූ නිසා අසාර්ථක වුණා.“

 

“ඒ අනුව පසුගිය කාලයේ සිදු වූ සංවර්ධන කටයුතුවලටද සිදුවුණේ මෙය බව දැන් අපට වැටහෙනවා. අපට බෑ ජනතාවට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්න. අපි ඉන්න  ඕනේ අඩියක් ඉදිරියෙන්. අපි අඩියක් ඉදිරියෙන් සිට ජනතාව අඩියක් ඉදිරියට ගත යුතුයි. ඒ වගේම අප පසු පසින් සිටිය යුතුත් නැහැ. මිනිසුන් කියන කියන දේ කරන්නත් අවශ්‍ය නැහැ. නගර සංවර්ධනය කියන්නේ ගෙවල් හදල දෙන එකවත් සාප්පු සංකීර්ණ හදලා දෙන එකවත් නෙමෙයි. අපි කරන නිර්මාණ තුළින් ජන ජීවිතය ඉදිරියට යන්න  ඕනේ. නැත්නම් එම ව්‍යාපෘති සාර්ථක වෙන්නේ නැහැ. පදික වෙළ\මේ යෙදෙන පදිකයා සදාකල්ම පදිකවේදිකාවේ තම වෘත්තීය කරයි නම් ඔහුගේ දරුවන් ද, ඔවුන්ගේ දරුවනුත්  පදික වේදිකාවේම වෙළඳාම් කරයි නම් අපි කළ සංවර්ධන කටයුත්තේ සාර්ථකත්වයක් තිබේදැයි අපි විමසා බැලිය යුතුයි. ජන ජීවිත වෙනස්කරන්න නොහැකි නම් එම ජීවිතවලින් පලක් නැහැ. ඒ වගේම අපි කරන වියදම් ජනතාවගේ මුදල් මේවා ධන කුවේරයන්ගෙන් ලැබෙන මුදල් නොවෙයි. මේ රට තමයි ධන කුවේරයන්ට ඉතාම සහන දීලා තියෙන රට. මේ රටේ ප‍්‍රධාන ආදායම වන්නේ පරිප්පු ටික, සීනි ටික විකුණලා ලැබෙන බදු ආදායම. අදටත් පෙට්ට‍්‍රල් ලීටරයකින් රු.65/= ක් බදු ආදායම ලෙස රජය උපයා ගන්නවා. මේ පොදු බදුවලින් තමයි ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේ. මෙවට දායක වන්නේ සාමාන්‍ය ජනතාව. ධන කුවේරයන්ගෙන් ලැබෙන ආදායම 8% යි. ඒ වගේ සුළු ප‍්‍රමාණයකින් තමයි ඒ අයගේ දායකත්වය ලැබෙන්නේ. මතක තියාගන්න  ඕනේ ඒ මහජනයාගේ ධනයයි. ඒ ධනය වැරදි විදිහට ආයෝජනය කරන්න බැහැ. ඒ ධනයට ප‍්‍රතිලාභ ලැබිය යුතුයි. අපි ගුවන් තොටුපලවල් හදලා තියෙනවා. යානා නැහැ. වරායවල් හදලා තියෙනවා. නැව් නැහැ. අපි ලස්සන සුපිරි වෙළඳ සංකීර්ණ හදලා තියෙනවා ලයිට් බිල් ගෙවා ගන්නවත් බැහැ. අපි අපේ රටේ තත්වය දැනගෙන කටයුතු කළ යුතුයි. ඒ නිසා කිසිම ආකාරයකින් ජනතාවගේ මුදල් වැරදි දේකට යොදවන්න සූදානම් නැහැ. මෙ රටේ තිබෙන තවත් නරක දෙයක් තමයි හිතවතුන් ඇවිත් ඒ කියන්නේ ජාවාරම් කාරයෝ. ඔවුන් තමයි රටේ සැලසුම් හදන්නේ. ඔවුන්ගේ නියමයන් අනුව තමයි එදා සංවර්ධන කටයුතු සිදුවුනේ. මින් ඉදිරියට මේ ආයතනය තුළ මෙවැනි දේ සිදුවන්නේ නැහැ. අපි විධිමත් ජාතික ප‍්‍රමුඛතාවයක් හඳුනාගෙන විවෘත විනිවිඳභාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තමයි සංවර්ධන කටයුතු සිදු කරන්නේ. ඒ වගේම අපිට විශාල වැඩකොටසක් ඉදිරි කාලයේදී පැවරිලා තියෙනවා. එම වැඩකොටස වාස්තු විද්‍යාත්මක, ඉංජිනේරුමය වැඩකොටසක් පමණක් නෙමෙයි. එම වැඩකොටස විශාල සමාජ ආර්ථක පෙරළියක පෙර ගමන් කරුවන් ලෙස කරන වැඩ කොටසක්. එනිසා අපට සෑම සමාජ ක්‍ෂෙත‍්‍රයකම අත් දැකීම් ලබා ගත යුතුයි. දශ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සමග අපට ගැටෙන්න සිදු වෙනවා.“

 

හමුවට සහභාගීවූ කාර්ය මණ්ඩලය
හමුවට සහභාගීවූ කාර්ය මණ්ඩලය

“ඒ වගේම කාර්යක්‍ෂම මහජන සේවයක් ලබාදීමට අපි සියළු දෙනා කැප විය යුතුයි. සාමාන්‍යයෙන් මිනිසුන් රාජ්‍ය ආයතයකට යන්නේ වැඬේ කෙරෙන්න කාලයක් ගත වන බව දැනගෙනයි. ඒ වගේම යම් කිසි මුදලක් දුන්නොත් ඒ වැඬේ ඉක්මනට කෙරෙන හැ`ගීම ඇතිව. ඒ හැ`ගීම බිම දමා පිරිසිදු ආයතනයක් බවට පත්කර සෑම ජාත්‍යන්තර ප‍්‍රමිති දර්ශකයන් අත්පත් කරගෙන අපේ කාර්යාල වැඩබිම් සූදානම් කර ගත යුතුයි. වගකීම් දෙද්දි මම ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැහැ. මම බලන්නේ හැකියාව ඇති නිලධාරීන්ට පමණයි. හැකියාවට මුල්තැන දෙන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා. මුදල් අමාත්‍යාංශයේ අනුකම්පාවෙන් දුවන ආයතනයක් බවට පත් නොකර තම ශක්තියෙන් නැගී සිටින ආයතනයත් බවට පත්කිරීම අපේ වගකීමයි. මම විදුලි බල මණ්ඩලය භාර ගන්නාවිට එම මණ්ඩලය බංකොලොත් ආයතනයක්. නමුත් අපි ඉතා කෙටි කලකින් එම මණ්ඩලය ගොඩගත්තා. අද මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති ආයතනයක් බවට පත් වෙලා. ඒ වගේ තමයි බරපතල ප‍්‍රශ්න හා අභියෝග තිබුණු තෙල් සංස්ථාව එතනින් ගොඩගැනීමට කටයුතු කළා. එම අභියෝගයත් අපි ගොඩගත්තේ ඉතාම සරල වැඩ කිහිපයකින්. ඒ අනුව බලන විට නාගරික සංවර්ධන අධිකාරියට තිබෙන අභියෝග ඉතා පුංචියි. ඒ වගේම ඉදිරි මාර්ග ඉතා පැහැදිලියි. එනිසා කාටවත් ණය නැති ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත් කර ගත යුතුයි. මේ රටට අලූත් යුගයක් ඇතිවුනේ දැන උගත් ජනතාවගේ මැදිහත් වීම නිසා මේ වන විට දේශපාලන භේදය බොහෝ විට තුනී වී ගිහින් තිබෙනවා. මොකද ප‍්‍රධාන පක්ෂ දෙකේ නායකයින් දෙදෙනෙක් එකතු වී රට පාලනය කරනවා. මේ ලැබිච්ච මොහොතෙන් අපි ප‍්‍රයෝජනය ගත යුතුයි. ඉදිරි වසර පහ විප්ලවීය වසර පහක් බවට පත් කරන්න නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව තියෙන්න  ඕනේ. ඒ සඳහා අපි සියළු දෙනාම එක පවුලක් ලෙස කැපවිය යුතුයි. මම අතගහපු කිසිම අමාත්‍යාංශයක් අසාර්ථක උනේ නැහැ. භාරගත්ත සෑම අභියෝගයක්ම පරාජය උනෙත් නැහැ. මේ අවස්ථාවේදී අපට ලැබුණු අභියෝගය ජයග‍්‍රාහීය කෙළවර කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. එය සියළු දෙනාගේ ශක්තිය ඇතිව සිදු කළ යුත්තක්. කැලි කසල, වාහන තදබදය, දුගියන්ගෙන් තොර පිරිසිදු නගරයක් බවට පත් කර මේ රට යටිතල පහසුකම්වලින් සපිරි සුහුරු සුමට රටක් බවට පත් කරන්න අපි සියළු දෙනාම කටයුතු කරමි.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles