Thursday, April 25, 2024

නාවලර්තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් 2022 “නාවලර් වර්ෂය” ප්‍රකාශයට පත්කරයි

දමිළ හින්දු සම්ප්‍රදායන් නගාසිටුවීමට සිය ජීවිතය කැප කළ ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් තුමන්ගේ 200 වැනි ජන්ම සංවත්සරය යෙදෙන 2022 වසර ‘නාවලර් වර්ෂය’ ලෙස ප්‍රකාශයට පත්කොට පිළිගැනීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (17)  අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා නාවලර් වර්ෂය පිළිගැනීම සහ එම සංදේශය හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. උමාමහේෂ්වරන් මහතා වෙත පිරිනැමීම මෙහි දී සිදුවිය.

හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී එම්. පද්මවාසන් මහතා විසින් සිතුවම් කරන ලද ශ්‍රී ආරුමුග නාවලර් තුමාගේ ජීවමාන රුව නිරූපිත සිතුවම් දෙකක් අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් මෙහිදී එළිදැක්විණි.

ඉන් අනතුරුව ශ්‍රීලශ්‍රී ආරුමුගනාවලර් තුමන්ගේ වර්ණ සිතුවම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නල්ලයි ආදීන ගුරු ප්‍රධානි පූජ්‍ය ශ්‍රීලශ්‍රී සෝමසුන්දර තේසිගඥාන සම්බන්ද පරමාචාර්ය ස්වාමි සහ කොළඹ රාමක්‍රිෂ්ණ මණ්ඩලයේ ප්‍රධානී පූජ්‍ය අක්ෂරාත්මානන්ද මහරාජ් ස්වාමි වෙත පිළිගන්වන ලදි. අනෙක් සිතුවම ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් සභාවේ සභාපති සී.ධනපාලා මහතා සහ සමස්ත ලංකා හින්දු කවුන්සිලයේ ලේකම් වේ.කන්දසාමි මහතා වෙත අග්‍රාමාත්‍යතුමා අතින් පිරිනැමිණි.

ශ්‍රී ආරුමුග නාවලර් තුමන්ගේ 199වැනි ජන්ම දින සැමරුම හෙට (18) ට යෙදී තිබේ.

මෙම උත්සව අවස්ථාවට නල්ලයි ආදීන ගුරු ප්‍රධානි පූජ්‍ය ශ්‍රීලශ්‍රී සෝමසුන්දර තේසිගඥාන සම්බන්ද පරමාචාර්ය ස්වාමි, කොළඹ රාමක්‍රිෂ්ණ මණ්ඩලයේ ප්‍රධානී පූජ්‍ය අක්ෂරාත්මානන්ද මහරාජ් ස්වාමි, අග්‍රාමාත්‍ය හින්දු ආගමික කටයුතු සම්බන්ධීකාරක පුජ්‍ය රාමචන්දිරා කුරුකල් බාබු ශර්මා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. උමාමහේෂ්වරන්, හිටපු අධ්‍යක්ෂවරුන්වන එස්. තිලයි නඩරාජා, ශාන්ති නවුක්කරසන්, ශ්‍රීලශ්‍රී ආරුමුගනාවලර් සභාවේ සභාපති සී.ධනපාලා, සමස්ත ලංකා හින්දු කවුන්සිලයේ ලේකම් වේ.කන්දසාමි මහත්ම මහත්මීහු සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles