Friday, April 19, 2024

නිහාල් ප්‍රනාන්දු සොඳුරු කලාකරුවා වෙනුවෙන් “ධවල භීෂණ“ යලිත්

ප්‍රවීණ නාට්‍යවේදියෙක්, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙක් මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන නිහාල් ප්‍රනාන්දු නම්වූ සොඳුරු මිනිසා මේ දිනවල රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුගේ ප්‍රතිකාර සඳහා ඉතා ඉහල මුදලක් වැයවන බැවින් ඒ සඳහා අවශ්‍ය ආර්ථික හැකියාව මේ නිර්ව්‍යාජ කලාකරුවාගේ පවුල සතුව නොමැති නිසා ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් සහ නාට්‍ය දැක්මක් සිදුකරමින් එම මුදල් නිහාල් ප්‍රනාන්දුගේ ප්‍රතිකාර සඳහා ප්‍රදානය කිරීම මෙම ප්‍රයත්නයේ අපේක්ෂාවයි.

එක්සත් කලා සංසදයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන මෙම උපහාර උළෙල සහ “ධවල භීෂණ“ නාට්‍ය දැක්ම මෙම මස 17 වැනිදා සවස 6.00 ට කොළඹ 03 මහානාම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇති. මෙම උපහාර උළෙලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සංස්කෘතික අමාත්‍ය එස්.බී.නාවින්න යන මහත්වරු සහභාගීවීමට නියමිතය.

මෙම වැඩසටහන වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය දැනුවත් කිරීමට සහභාගීවූ ධර්මසිරි බණ්ඩාරනායක, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ඩයනා ගමගේ, නදීකා ගුණසේකර, මිචෙල් ෆොන්සේකා, ප්‍රින්ස් වික්‍රමනායක, සුරේනි සෙනරත්,සෝමවීර ගමගේ, කපිල සිගේරා ඇතුළු කලාකරුවෝ ගණනාවක් සඳහන් කලේ රෝගාතුරව අසරණවී සිටින මේ සොඳුරු කලාකරුවාට අතහිත දීමට මෙම නාට්‍ය දැක්ම සඳහා ප්‍රවේශ පත්‍ර මිලට ගන්නා ලෙසයි.

මෑතකාලීනව “කුලැත්තියෝ“ ටෙලි නාට්‍ය නිර්මාණය කරමින් සක්‍රීයව කලා කටයුතුවල නිරතවූ නිහාල් හදිසියේ සිදුවූ රෝගී තත්වය නිසාවෙන් දැඩිලෙස අකර්මණ්‍යව සිටියි. ඔහුට අපි ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles