Friday, April 19, 2024

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වී පැවැත්වේ…!

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම අද යළිත් කල් තැබුණා. එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින්.

පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය අධ්‍යයනය කොට කරුණු දැක්වීම සඳහා මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශ්වකරුවන්ට අවසර ලබා දෙමින් අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වනදා දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. 

මෙම පෙත්සම අද කැඳවනු ලැබුවේ එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එහිදී වගඋත්තරකාර මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ නීතියට අනුකූලව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට තම සේවාදායකයන් ලබා දුන් ප්‍රතිඥාව මේ වනවිට ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මුදා නොහැරීම නිසාත් මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුදාහැරීම රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාත් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එහිදී විනිසුරු මඩුල්ල, අදාළ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේගෙන් කරුණු විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ රට තුළ වර්තමානයේ උග්‍ර ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් ආදායම් ගලනය පහත වැටී ඇති බවයි.

රාජ්‍ය වියදම් සීමා කරන ලෙස දන්වමින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මුදල් අමාත්‍යංශයේ විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නිසාත් පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතුවලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදාහැරීම අපහසු බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සිය දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය දැනුවත් කර ඇතැයි සඳහන් කළා.

කෙසේ වෙතත් මැතිවරණයේ මූලික කටයුතු සඳහා මැතිවරණ කොමිසම වෙත රුපියල් මිලියන 30 ක් සහ රුපියල් මිලියන 70 ක් ද පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 25 ක් ද රාජ්‍ය මුද්‍රණාලය වෙත රුපියල් මිලියන 40 ක් ද දැනට මුදාහැර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියා.

මෙහිදී විනිසුරුවරු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් මිලියන 8000 ක පමණ මුදලක් අවශ්‍ය වන බවයි.

මෙහිදී විනිසුරු නවාස් ප්‍රශ්නයක් යොමු කරමින් මෙම මුදල් තත්ත්වය යහපත් වන්නේ කවදාදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් තමාට මෙම අවස්ථාවේදී ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවත් ඊට අදාළව තම සේවා දායකයා ගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍ය බවයි. 

මෙහිදී පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට භාණ්ඩාගාරයට මුදල් නොමැතිනම් මහජනතාවගෙන් මුදල් එකතුකොට මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව පැවසුවා. ඊට විනිසුරු තුරෙයි රාජා දැඩි දෝෂාරෝපණ එල්ල කළා.

මෙම අවස්ථාවේදී මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි තත්ත්වයක් යටතේ මහජනතාවගෙන් මුදල් එකතු කර මැතිවරණ පැවැත්වීම අනුමත කළ නොහැකි බව පැවසුවා. කැමති අයෙක් සිටිනවා නම් භාණ්ඩාගාරයට ගොස් මුදල් පරිත්‍යාග කළ හැකි බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියා.

ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාලව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ප්‍රතිචාර දැක්වීමට මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දුන් අධිකරණය පෙත්සම නැවත මැයි මස 11 වනදා කැඳවන බව දැනුම් දුන්නා.

ඊට එකඟ නොවූ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙය ජාතික වැදගත්කමක් සහිත ඉතා වැදගත් නඩුකරයක් බැවින් කඩිනම් දිනයක කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා. 

මාර්තු මස නව වනදා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මෙම පෙත්සම් විභාගය මෙලෙස කල් දැමීම නුසුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. මෙහිදී විනිසුරු තුරේයි රාජා සඳහන් කළේ තම අධිකරණයේ දිනපොත අනුව මෙම නඩුව කැඳවීම සඳහා ලබාදිය හැකි ආසන්නතම දිනය මැයි මස 11 වනදා බවයි. ඒ අනුව අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සදහා පෙත්සම මැයි මස 11 වනදා කැඳවන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.

අධිකරණ කටයුතු එසේ කල්යාමත් සමග තව දින 12කින් පමණ පැවැත්වීමට නියමිත මැතිවරණය කිසිසේත් පැවැත්වීමට ඉඩක් නොමැති බව පක්ෂ රැසක නියෝජිතයෝ පෙන්වා දී තිබේ.

මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (24) දිනයේදී රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කළ බව එහි සාමාජිකයින් 5 දෙනාගේම සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා පසුගියදා රටට ප්‍රකාශ කළ බවය.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සෑම ගැසට් නිවේදනයකටම කොමිසමේ සාමාජිකයින් 5 දෙනාම අත්සන් යොදා ඇති බවත් ඔහු වැඩිදුටත් ප්‍රකාශ කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles